ශ්‍රී ලංකාවට පළමු 20යි 20න් දරුණු පරාජයක්
Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 62ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(24) සමත් වුණා.
ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින්.
ආරම්භක කඩුල්ල සදහා රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් අතරේ ලකුණු 111 ක සබදතාවයක් ගොඩ නැගුණා.
රෝහිට් ලකුණු 44කට දැවී ගිය අතර, කිෂන් ලකුණු 89(56)ක් ලබා ගත්තා.
ෂ්රෙයස් අයියර් පන්දු 28කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57ක්.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගිය අතර, කමිල් මිෂාර ලකුණු 13(12)කට දැවී ගියා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ජනිත් ලියනගේ පන්දු 17කින් ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 10ක් ද, දසුන් ශානක ලකුණු 3ක් ද, චාමික කරුණාරත්න ලකුණු 21(14)ක් ද රැස් කළා.
හුදෙකලා සටනක නිරත වූ චරිත් අසලංක පන්දු 47කින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සමගින්.
දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 24(14)ක් රැස් කළා.
පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් හා වෙන්කටේෂ් අයියර් කඩුලු 2 බැගින් දවා ගත්තා.
ඒ අනුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.