Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට තවත් ICC ලෝක කුසලානයක සත්කාරකත්වය හිමි වෙයි

2024 වසරේ සිට 2027 වසර දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(13) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව, මැලේසියාව හා තායිලන්තය, සිම්බාබ්වේ හා නැමීබියාව, බංග්ලාදේශය හා නේපාලය යන රටවල්වල එම තරගාවලි පැවැත්වීම සදහා අයි.සී.සී අනුමැතිය ලැබී තිබෙනවා.

2024 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (පිරිමි) සත්කාරකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

මීට පෙර 2000 හා 2006 වසරවලදී ද එම තරගාවලිය මෙරට දී පවත්වා තිබුණා.

2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ සිම්බාබ්වේ හා නැමීබියාවේ දී යි.

2025 අයි.සී.සී වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ දී හා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

2027 වසරේ දී එම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශය හා නේපාලය යන රටවලදීයි.

2026 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව විසින් දරන බව මීට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ අතර,  අඛණ්ඩව දෙවැනි වරටත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපති ධූරය සදහා නවසීලන්ත ජාතික Greg Barclay තේරී පත්ව තිබෙනවා.

2020 වසරේ නොවැම්බර් මාසයේ දී යි ඔහු පළමු වරට වසර දෙකක කාලයක් සදහා සභාපති ධූරයට තේරී පත් වුණේ.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani අයි.සී.සී සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලබා දී තිබුණ ද, ඔහු එය ඉවත් කර ගැනීමට කටයුතු කිරීමත් සමග Greg Barclay ඒකමතිකව සභාපති ධූරයට යළිත් වරක් තේරී පත් වුණා.