Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට තවත් ICC තරගාවලියක සත්කාරකත්වය හිමි වෙයි

2024 වසරේ සිට 2027 වසර දක්වා වන කාලයට අයත් ප්‍රධාන අයි.සී.සී කාන්තා තරගාවලියන්හි සත්කාරක රටවල් අද (26) ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

මේ වන විට එංගලන්තයේ බර්මිංහැම්හී දී පැවැත්වෙන අයි.සී.සී වාර්ෂික රැස්වීමේ දී යි මේ සම්බන්ධයෙන් අවසන් තීරණවලට එළඹ ඇත්තේ.

වසර 4ක් තුළ දී අයි.සී.සී කාන්තා තරගාවලි 4ක් පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති අතර, ඒ අනුව 2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ප්‍රධාන අයි.සී.සී කාන්තා තරගාවලියක් සදහා බංග්ලාදේශය සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර, 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා ඔවුන් සත්කාරකත්වය දරන දෙවැනි අවස්ථාව මෙයයි.

2024 සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත බවත්, රටවල් 10 ක් සහභාගී වන එම තරගාවලියට තරග 23 ක් ඇතුළත් බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

රටවල් 8ක් එම තරගාවලියට තරග කරන අතර, පැවැත්වීමට නියමිත තරග ගණන 31ක්.

2026 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වෙන්නේ ජූනි මාසයේ දී යි.

තරගාවලිය සදහා එක්වන රටවල් ගණන 10 සිට 12 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 33ක්.

මේ අතර, කාන්තා අයි.සී.සී ශූරයින්ගේ කුසලාන 20යි 20 තරගාවලියේ ආරම්භක තරගාවලිය 2027 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව එම තරඟාවලියට සුදුසුකම් ලබන්නේනම් පමණක් එම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

තරගාවලියට රටවල් 6 ක් ක්‍රීඩා කරන අතර, පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16 ක්.