ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය දිනන්නේ අපි : මොටාසා

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායම ජය ගනු ඇති බව බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මශ්රෆී මොටාසා පවසනවා.
ශ්‍රේණිගත කිරීම් සහ අතීත වාර්තා සලකා බැලීමේ දී බංග්ලාදේශයට වඩා ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවනවා.
කෙසේ වෙතත් මොටාසා පෙන්වා දෙන්නේ මෙම තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වෙන බැවින් තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව පවතින්නේ බංග්ලාදේශ කණ්ඩායමට බවයි.
ඉන්දියාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල් හැරුණු විට සෙසු සියලු රටවල් බංග්ලාදේශයේ දී සිය කණ්ඩායමට වඩා පහළ මට්ටමක පසුවන බව ඔහුගේ අදහසයි.
“මොන තරග රටාව ද ක්‍රීඩා කරන්නේ කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවානම්, ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරග ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ” යනුවෙන් මශ්රෆී මොටාසා සදහන් කළා.
“සමහර විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වගේ ටෙස්ට් පිටියේ ඉදිරියෙන්ම සිටින රටවල්වලට එරෙහිව අපිට වැඩි වාසි නොතිබෙන්න පුලුවන්. නමුත් අපි ඔස්ට්‍රේලියාව පරාජය කළා. අපි එංගලන්තය පරාජය කළා. ඉතින් ඇයි ශ්‍රී ලංකා පරාජය කරන්න බැරි”
“අපි දකුණු අප්‍රිකාවේදී තරග දෙකම දරුණු ලෙස පරාජයට පත්වුණා. අපි ඒක බලාපොරොත්තු වුණේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි හොඳින් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මම විශ්වාස කරනවා බංග්ලාදේශය ධනාත්මකව ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරයි කියලා”