Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය T20 සංචිතයේ නායකත්වය සූර්යකුමාර්ට හිමිවන ලකුණු

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය හර්ඩික් පාන්ඩයාට ලබා නොදී සූර්යකුමාර් යාදව්ට ලබාදීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

පාන්ඩයාගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් නිරතුරුව ඇතිවන ගැටලු පිළිබද සලකා බලා තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු හිටපු නායක රෝහිත් ෂර්මා විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ අතර, ඒ අනුවයි විස්සයි 20 කණ්ඩායම සදහා නව නායකයෙකු පත් කිරීමට සිදුව ඇත්තේ.

එම තනතුර සදහා, රෝහිත් නායකත්වය දරන විට උප නායකයා ලෙස කටයුතු කළ හර්ඩික් පාන්ඩයා පත් කිරීමට ඉඩ ඇති බව මීට පෙර වාර්තා වුණා.

පාන්ඩයා 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ඔහු යළි ක්‍රිකට් පිටියට පිවිසියේ 2024 IPL තරගාවලියේ දීයි.

පාන්ඩයා මීට පෙර එක්දින තරග තුනකදී සහ විස්සයි 20 තරග 16කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඊට අමතරව ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද මෙහෙයවා තිබෙනවා.

සූර්යකුමාර් යාදව් ද මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති T20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

එම තරගාවලියෙන් ඉන්දියාව තරග 4-1 ක ජයක් වාර්තා කළ අතර, පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති T20 තරගාවලිය ද තරග 1-1 ක් ලෙස සම මට්ටමෙන් අවසන් කර ගැනීමට ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම සමත් වුණා.