Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට අද තීරණාත්මක තරගයක් ; සුපිරි 6 වටයේ වත්මන් ප්‍රසාද ලකුණු සටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය අදයි(27).

අද දිනයේ දී තරග දෙකක් පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිවත්, අයර්ලන්ත කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිවත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරග දෙකම මෙරට වේලාවෙන් දහවල් 12.30ට පිළිවෙලින් බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී හා Bulawayo Athletic Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගය වෙත යොමු වී ඇත්තේ එම තරගයේ ප්‍රතිඵලය සුපිරි 6 වටය සදහා ද බලපාන බැවින්.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට සුපුරුදු පරිදි ප්‍රසාද ලකුණු 2 ක් හිමි වන අතර, එම ප්‍රසාද ලකුණු 2 සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට රැගෙන යාමේ අවස්ථාව ජය ගන්නා කණ්ඩායමට හිමි වනවා.

ශ්‍රී ලංකාව මේ වන විටත් ප්‍රසාද ලකුණු 2 ක් සුපිරි හය වටය වෙනුවෙන් හිමි කර ගෙන සිටින්නේ මූලික වටයේ දී ඕමානයට එරෙහිව ලැබූ ජයග්‍රහනය හේතුවෙන්.

කෙසේ වෙතත්, අයර්ලන්තයට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහනවලට අදාළව හිමි වූ ප්‍රසාද ලකුණු හෝ ශුද්ධ ලකුණු වේගය (net run rate) සුපිරි හය වටයට රැගෙන යාමට නොහැකි වන්නේ එම කණ්ඩායම් දෙක සුපිරි 6 වටය සදහා සුදුසුකම් නොලැබූ බැවින්.

කණ්ඩායමක් සුපිරි 6 වටයට රැගෙන යන්නේ තම කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඕමානයට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු 2 හා එම තරගයේ දී වාර්තා කළ +4.71 ක ශුද්ධ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 වටය සදහා රැගෙන යනු ලබනවා.

ස්කොට්ලන්තය ද ඕමානයට එරෙහිව ජය ලැබූ බැවින් එම තරගයෙන් හිමි වූ ප්‍රසාද ලකුණු 2 ඔවුන් සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

අද පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් සමග සුපිරි 6 වටයට පිවිසෙන අතර, ස්කොට්ලන්තය ජයගතහොත් ඔවුන් ප්‍රසාද ලකුණු 4ක් සමග සුපිරි 6 වටය සදහා පිවිසෙනු ඇති.

ඕමාන කණ්ඩායම ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත් වූ බැවින් ඔවුන් කිසිදු ප්‍රසාද ලකුණක් සුපිරි 6 වටය සදහා රැගෙන යන්නේ නැහැ.

මේ අතර, A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට පිවිසි සිම්බාබ්වේ පිල ප්‍රසාද ලකුණු 4 ක් සුපිරි 6 වටයට රැගෙන යන අතර, නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 2ක් එම වටයට රැගෙන යනවා.

කෙසේ වෙතත්, ඊයේ පැවැති තරගයේ දී නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් වූ බැවින් කොදෙව්වන් සුපිරි 6 වටය සදහා පිවිසෙන්නේ කිසිදු ප්‍රසාද ලකුණක් නොමැතිවයි.

ඒ අනුව කොදෙව්වන්ට ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට පවතින්නේ ඉතා අවම අවස්ථාවක්.

සුපිරි 6 වටයට අදාළ වත්මන් ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 47779]