Ultimate magazine theme for WordPress.

ශතක 4 හා ප්‍රභාත්ගේ කඩුලු 5 පළමු තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට නතු කරයි

Day 2 Report

පිතිකරුවන් සිව්දෙනෙකු වාර්තා කළ ශතක හා ප්‍රභාත් ජයසූරියගේ කඩුලු පහ හමුවේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (17) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා අසීරු තත්ත්වයක පසු වුණා.

James McCollum ලකුණු 35 කටත්, Harry Tector ලකුණු 34 කටත් දැවී ගියා. Peter Moor ලකුණු 14යි. නොදැවී පන්දුවට පහර දෙන Lorcan Tucker ලකුණු 21 ක් හා Andy McBrine ලකුණු 5 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

McCollum හා Tector  අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 70 (130) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණ ද වෙනත් කිසිදු පිතිකරුවන් යුගලයක් අතරේ සාර්ථක සම්බන්ධතාවයක් දැක ගැනීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 42 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. විශ්ව ප්‍රනාන්දු සිය පළමු පන්දුවාරයේ දී ම අයර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට සමත් වුණා.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.

ඒ අනුව අයර්ලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 474 ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 281 (356) ක සබදතාවයක් ගොඩ නැගුණා.

අද දිනයේ දී දිනේෂ් චන්දිමාල් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 102 ක්. පන්දු 155 කින් ඔහු වාර්තා කළ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත්.

වසර 6 කට පමණ පසුව ටෙස්ට් කණ්ඩායමට පැමිණි කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු පන්දු 114 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. චන්දිමාල් හා සධීර අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 183 (215) ක්.

සධීර සමරවික්‍රම වාර්තා කළ ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු වසර 7 කට පසුව වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය වීම විශේෂත්වයක්. අවසන් වරට කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ශතකයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කර තිබුණේ 2016 වසරේ දී කුසල් ජනිත් පෙරේරා විසින්.

පන්දු යැවීමේ දී Curtis Campher කඩුලු 2 ක් ද, Mark Adair, Andy McBrine, Ben White හා George Dockrell කඩුල්ල බැගින් ද දවා ගත්තා.