ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 2024 ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ශකිබ් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න නගා ඇත්තේ.
ඒ අනුව ශකිබ්ට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දෙන ලෙසට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව සදහන්. ඉදිරි සති දෙක තුළ දී ඔහු එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇති.
මෙය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි. කෙසේ වෙතත්, තවමත් ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පනවා නැහැ.
සමර්සෙට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී 37 හැවිරිදි ශකිබ් අල් හසාන් කඩුලු 9ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා. එම තරගයේ දී ඔහු පන්දුවාර 63 කට වඩා වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යොමු කළා.
දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින ශකිබ් මේ දක්වා ජාත්‍යන්තර තරග 447 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 712 ක්.
ශකිබ්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අනාගතය ද මේ වන විට දැඩි අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇත්තේ ඔහුට එරෙහිව බංග්ලාදේශයෙන් එල්ල වන විරෝධතා හේතුවෙන්. ඔහු එරට පාලන බලය හොඹවනු ලැබූ අවාමි ලීග් අණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළා.