Ultimate magazine theme for WordPress.

ශකිබ්ට දරුණු ප්‍රහාරයක්; ඔස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්

බංග්ලාදේශය සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(7) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විටත් තරග 3-1ක් ලෙස ජය තහවුරු කර ගෙන සිටින්නේ බංග්ලාදේශයයි.

ඩකාහි අද පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.

මොහොමඩ් නයීම් ලකුණු 28(36)ක්, මෙහෙදි හසාන් ලකුණු 23(16)ක් හා අෆිෆ් හුසේන් ලකුණු 20(17)ක් රැස් කළා. ශකිබ් අල් හසාන් පන්දු 26කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 15ක්.

පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි හා මිචෙල් ස්වෙප්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ජොෂ් හේසල්වුඩ් කඩුලු 2ක් ද, ඇෂ්ටන් ඒගාර් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩෑන් ක්‍රිස්ටියන් පන්දු 15කින් වේගවත් ලකුණු 39ක් ලබා ගත්තේ හයේ පහර 5ක් හා හතරේ පහරක් සමගින්.

ඔහු වාර්තා කළ හයේ පහර 5ම ශකිබ් අල් හසාන් යොමු කළ එක් පන්දුවාරයකදී එල්ල කිරීම කැපී පෙනුණා.

මිචෙල් මාෂ් ලකුණු 11ක් ලබා ගත් අතර, ඇෂ්ටන් ඒගාර් ලකුණු 27ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 65 දී දැවී ගිය අතර, අනතුරුව 7 වන කඩුල්ල සදහා ඒගාර් හා ඇෂ්ටන් ටර්නර් ලකුණු 34ක සබදතාවයක් ගොඩ නැගුවේ ඔස්ට්‍රේලියාව මෙම තරගාවලියේ දී අඛණ්ඩව ලබන්නට ගිය සිව්වැනි පරාජයෙන් ගළවමින්.

පන්දු යැවීමේ දී මෙහෙදි හසාන් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශකිබ් අල් හසාන් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 50ක් ලබා ගැනීම විශේෂත්වයක්.