විවිධ හේතු මත ශූරයින්ගේ කුසලානය අහිමි වූ ප්‍රධාන ක්‍රීඩකයින් 14 දෙනා මෙන්න

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට පාකිස්තානයේදී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සදහා රටවල් අටක් තරග වදින අතර, ඊට ශ්‍රී ලංකාවට ඇතුළත් වන්නේ නැහැ.
මේ අතර, මෙම තරගාවලිය ප්‍රධාන ක්‍රීඩකයින් රැසකටම ආබාධ හා වෙනත් හේතු මත අහිමි වී තිබීම ද කැපී පෙනෙනවා. මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ එවන් ක්‍රීඩකයික් කිහිප දෙනෙකු පිළිබදවයි.
ඇෆ්ඝනිස්තානය
ආබාධයක් හේතුවෙන් 18 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක AM Ghazanfar හට ශූරයින්ගේ කුසලානය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ මීට පෙර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටි දග පන්දු යවන ක්‍රීඩක Nangeyalia Kharote.
දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් ද ආබාධයකින් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් ශූරයින්ගේ කුසලානයට නම් කෙරුණේ නැහැ.
ඔස්ට්‍රේලියාව
ඔස්ට්‍රේලියාව ශූරයින්ගේ කුසලානයට තරග වදින්නේ ඔවුන්ගේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාම නොමැතිවයි. නායක පැට් කමින්ස් හා ජොෂ් හේසල්වුඩ් ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. මිචෙල් ස්ටක් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත් වුණා.
ශූරයින්ගේ කුසලාන මූලික සංචිතයට නම් කිරීමෙන් අනතුරුව මර්කස් ස්ටොයිනිස් එක්දින ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළ අතර, මිචෙල් මාෂ් ද ආබාධයක් නිසා මෙවර තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.
ඔවුන් වෙනුවට Sean Abbott, Ben Dwarshuis, Jake Fraser-McGurk, Spencer Johnson හා Tanveer Sangha ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කර තිබෙනවා.
බංග්ලාදේශය
තුන් ඉරියව් ක්‍රිඩක ශකිබ් අල් හසාන්ට මෙවර ශූරයින්ගේ කුසලානය අහිමි වුණේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහිව පනවා ඇති පන්දු යැවීමේ තහනමත් සමගයි.
එංගලන්තය
ඊයේ නිමා වූ එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අතරතුරදී ජේකබ් බෙතෙල් ආබාධයකට ලක් වූ බැවින් ඔහුට ශූරයින්ගේ කුසලාන තරගාවලිය අහිමි වුණා.
ඉන්දියාව
ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී මුහුණ දුන් පිට කොන්ද ආශ්‍රිත ආබාධය නිසා වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට ද ශූරයින්ගේ කුසලානය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට හර්ෂිත් රානා ඉන්දීය සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නවසීලන්තය
*වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස්ට පාදයක ආබාධයක් හේතුවෙන් එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට ජේකබ් ඩෆී ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඊට අමතරව තවත් නවසීලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා. ලොකී ෆර්ගසන් ILT20 තරගාවලියේදී පාදයක ආබාධයකට ලක් වූ අතර, රචින් රවීන්ද්‍ර පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දු රකිමින් සිටියදී පන්දුවක් මුහුණේ වැදීම නිසා ආබාධයකට ලක් වුණා.
කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා තවමත් ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් කිරීමට කටයුතු කර නැහැ.
පාකිස්තානය
දකුණු අප්‍රිකා සංචාරයේදී ආබාධයකට ලක් වූ සයීම් අයුබ්ට ද ශූරයින්ගේ කුසලානය අහිමි වුණා.
මේ දිනවල පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් ද ආබාධයකට ලක් වූ අතර, ඔහුට තරගාවලිය අහිමි වනු ඇත්දැයි මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.
දකුණු අප්‍රිකාව
පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් අන්රික් නොකියාටද ශූරයින්ගේ කුසලානය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට ජෙරාල්ඩ් කොට්සියා සංචිතයට ආදේශ කිරීමට නියමිතව සිටි නමුත් පසුව ඔහු ද ආබාධයකට ලක් වීම විශේෂත්වයක්. ඒ අනුව Corbin Bosch සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව බෙයුරන් හෙන්ඩ්‍රික්ස් හා ලිසාද් විලියම්ස් යන ක්‍රීඩකයින් ද මේ වන විට ආබාධවලට ලක්ව සුවය ලබමින් සිටිනවා.