Ultimate magazine theme for WordPress.

වැටුප් නොලැබීමෙන් BPL අර්බුදයක – ක්‍රීඩකයින් පුහුණුවීම් වර්ජනය කරයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Durbar Rajshahi කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(15) දිනයේදී පුහුණුවීම් කටයුතු වර්ජනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින්ට ගෙවිය යුතු වැටුප් මෙතෙක් ගෙවා දැමීමට කණ්ඩායම් හිමිකාරීත්වය අපොහොසත් වීමයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර වැටුපෙන් 50% ක් ක්‍රීඩකයින්ට ගෙවීමට අවශ්‍ය වූ නමුත්, කිසිදු කණ්ඩායමක් එම ගෙවීම නියමිත කාලය තුළ සිදු කර තිබුණේ නැහැ.

තරගාවලිය ආරම්භ වීමෙන් පසුව ඇතැම් කණ්ඩායම් විසින් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කර ඇතත්, බොහෝ කණ්ඩායම් එම ගෙවීම් සිදු කර නොමැති බව සදහන්.

මේ වන විට Rajshahi කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින්ට වැටුපෙන් 25%ක ප්‍රමාණයක් ගෙවා ඇති බව සදහන් වන නමුත්, දේශීය ක්‍රීඩකයින්ට ලබා දුන් චෙක් පත් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දිනයේදී පුහුණුවීම් වර්ජනය කිරීමට ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින්ට විවේකයක් ලබා දීමේ අරමුණින් අද දිනයේදී පැවැත්වීමට නියමිත පුහුණුවීම් අවලංගු කළ බවයි Rajshahi කණ්ඩායම නිවේදනය කළේ.

පුහුණුවීම් අවලංගු කිරීම හා ක්‍රීඩකයින්ගේ ගෙවීම් සිදු නොවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එම කණ්ඩායම සදහන් කරනවා.

කණ්ඩායමේ හිමිකරු Shafiq Rahman මේ වන විට විදෙස් ගතව සිටීම ගෙවීම් සිදු වීමේ ප්‍රමාදයන්ට හේතු වී ඇති බවයි Durbar Rajshahi කණ්ඩායම පෙන්වා දෙන්නේ.

එම කණ්ඩායම ක්‍රීඩා කරන මීලග තරගය එළඹෙන සිකුරාදා Sylhet Strikers කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර, ගෙවීම් සිදු නොකරන්නේනම් එම තරගය ද වර්ජනය කරන බවට ක්‍රීඩකයින් අනතුරු අගවා තිබූ බව ද සදහන්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හදිසි රැස්වීමක් ද කැදවා තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, මේ වන විට ක්‍රීඩකයින් හා කණ්ඩායම් කලමනාකාරීත්වය යම් එකගතාවයට පැමිණ ඇති බවත්, ඒ අනුව හෙට දිනයේදී ක්‍රීඩකයින් පුහුණුවීම් සදහා එක් වනු ඇති බවත් සදහන්.