පොලිස් භාරයට ගත් රාජ්ශාහී හිමිකරු වාරික තුනකින් හිග වැටුප් ලබා දෙන්න පොරොන්දු වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඩර්බර් රාජ්ශාහී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබා දිය යුතු සියලු ගෙවීම් පෙබරවාරි 10 වැනිදා වන විට ලබා දී අවසන් කරන බවට කණ්ඩායමේ හිමිකරු වන ශෆික් රහ්මාන් පොරොන්දු වී තිබෙනවා.
ඒ, එම ගෙවීම් පෙබරවාරි දෙවැනිදා වන විට ලබා දී අවසන් කරන බවට මීට පෙර ඔහු සදහන් කර තිබූ පසුබිමකයි.
ඔහු අද දිනයේදී පොලිස් භාරයට ද පත්ව තිබූ අතර, එහිදී ගෙවීම් සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබද පැය 4ක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
“ඔහු (රහ්මාන්) තම වරද පිළිගත්තා. පෙබරවාරි 3, 7 සහ 10 යන දිනවල 25% බැගින් වූ වාරික තුනකින් කණ්ඩායමේ සියලු හිඟ මුදල් පියවන බවට පොරොන්දු වුණා.” යනුවෙන් බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන්.
“ක්‍රීඩකයින්ට අමතරව, කණ්ඩායමට සම්බන්ධ සියලු දෙනාටම සෑම වාරිකයකින්ම ඔවුන්ගේ ගෙවීම් ලැබෙන බවට ඔහු සහතික වුණා. එසේ නොවුවහොත්, ඔහුට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.”
විදෙස් ක්‍රීඩකයින්ට සිය රටවල් බලා පිටත් යාමට අවශ්‍ය ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ද නියමිත වේලාවේදී ලබා දීමට කණ්ඩායම් හිමිකාරීත්වය අසමත්ව තිබූ අතර, ඒ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර බලාපොරොත්තුවෙන් විදෙස් ක්‍රීඩකයින් ඩකාහි හෝටලයක රැදී සිටියා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විදෙස් ක්‍රීඩකයින් විසින් කණ්ඩායම් හිමිකරු සහ කළමනාකාරිත්වය අමතා ඇතත්, ක්‍රීඩකයින්ගේ ඇමතුම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වා නොතිබූ බව සදහන්.
රාජ්ශාහී සංචිතයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලහිරු සමරකෝන් ද ඇතුළත්ව සිටි නමුත්, විදෙස් ක්‍රීඩකයින් වන Ryan Burl, Mohammad Haris, Mark Deyal, Miguel Cummins හා Aftab Alam යන ක්‍රීඩකයින් එම හෝටලයේ රැදී සිටි බවටයි වාර්තා වුණේ. ලහිරු සමරකෝන් මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා.
ඇතැම් විදෙස් ක්‍රීඩකයින්ට ප්‍රවේශ පත්‍ර ලැබීමත් සමග අද දිනයේදී ඔවුන් බංග්ලාදේශයෙන් පිටත්ව ගොස් ඇති අතර, අනෙක් විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනා ඉදිරි දිනවලදී එරටින් පිටත්ව යනු ඇති.
විදෙස් ක්‍රීඩකයින්ගෙන් කිහිපදෙනෙකුට වැටුපෙන් 25% ක කොටසක් ගෙවා ඇතත්, ඇතැම් ක්‍රීඩකයින්ට කිසිදු මුදලක් ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ. තවද, පසුගිය දින 11 තුළ ක්‍රීඩකයින්ට දෛනික දීමනාව ද ලැබී නොමැති බව සදහන්.
ගෙවීම් නොලැබීම හේතුවෙන් එම කණ්ඩායමේ ක්‍රීඩකයින් එක් අවස්ථාවක පුහුණුවීම් කටයුතු ද වර්ජනය කර තිබූ අතර, විදෙස් ක්‍රීඩකයින් තරගයක් ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට ද පියවර ගත්තා.
රාජ්ශාහී කණ්ඩායමේ හිමිකරු ශෆික් රහ්මාන්ට Chattogram නුවර කණ්ඩායම රැදී සිටි හෝටලයේ බිල නියමිත වේලාවට ගෙවීමට ද නොහැකි වී තිබූ බව වාර්තා වුණා. ඒ අනුව ඔහු භාවිතා කළ මෝටර් රථයක් හෝටලයේ බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මේ අතර, රාජ්ශාහී කණ්ඩායමේ බස් රථ රියදුරු ද මේ වන විට අනාවරණය කර ඇත්තේ තමාට ද මුදල් ගෙවා නොමැති බැවින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බෑග් ඇපයක් ලෙස සිය සන්තකයේ තබා ගැනීමට ද තමන් කටයුතු කළ බවයි. හිඟ මුදල් ගෙවන තුරු ඒවා ආපසු නොදෙන බවයි ඔහු පවසා ඇත්තේ.