වසර 7 ක් ශ්‍රී ලංකාව සතු වූ වාර්තාව බංග්ලාදේශය සමකරමින් නවසීලන්තයට දරුණු පරාජයක්
නවසීලන්ත කණ්ඩායමේ විස්සයි විස්ස තරග 5 කින් යුත් බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම තරගය අද (01) පැවති අතර එහිදී වාර්තාගත පරාජයක් නවසීලන්ත කණ්ඩායමට අත්කරදීමට බංග්ලාදේශය සමත්වුණා.
මීර්පූර්හී ශරී බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් නවසීලන්ත නායක ටොම් ලේතම් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
එම තීරණය දැඩි අභියෝගයකට ලක්කළ බංග්ලාදේශ පන්දු යවන්නන්, මන්දගාමී තණතීරුවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් නවසීලන්ත කණ්ඩායම ලකුණු 60 කට සීමා කිරීමට සමත්වුණේ පන්දුවාර 16.5ක් තුළදීයි.
මීට පෙර නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ඉනිමක දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වූයේ ද එම ලකුණු සංඛ්‍යාවයි.
2014 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 60 කට සීමා කරමින් එම දක්ෂතාවය දක්වා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනුයි.
අද තරගයේදී නවසීලන්තය වෙනුවෙන් ලකුණු 5 සීමාව පසුකරයාමට සමත් වුණේ ටොම් ලේතම් සහ හෙන්රි නිකලස් පමණයි.
ඔවුන් දෙදෙනාම ලකුණු 18 බැගින් රැස්කලා. සෙසු කිසිදු පිතිකරුවකුටවත් ලකුණු 5 සීමාව පසුකර යාමට අවස්ථාවක් නොලැබීම කැපී පෙනුණා.
පන්දු යැවීමේදී මුස්ටෆිසූර් රෙහෙමාන් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා. නසුම් අහ්මද් , ශකීබ් අල් හසාන් සහ මොහොමඩ් සයිෆුදීන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. මහෙදි හසන් එක් කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 61 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවාර 15 ක් අවසානයේ ජයග්‍රහණය වාර්තා කළා.
ශකීබ් අල් හසන් ලකුණු 25(33) යි. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 16(26) ක් රැස් කළ අතර, මහමදුල්ලා නොදැවී ලකුණු 14(22) ක් ලබා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථම තරගයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් වාර්තා කළා.
නවසීලන්තය වෙනුවෙන් අජාස් පටේල්, Cole McConchie සහ රචින් රවින්ද්‍ර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ තුන් ඉරියව්වෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ ශකීබ් අල් හසාන්.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ දෙවන තරගය එළඹෙන 03 වනදා මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.