වසර 18 ක උත්සාහයකින් පසු RCB පිල IPL ශූරතාවය දිනයි

වසර 18 ක උත්සාහයෙන් අනතුරුව පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද(3) සමත් වුණා.
ඒ, 2025 අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පංජාබ් කිංග්ස් පරදා ලකුණු හයක තියුණු ජයක් වාර්තා කරමින්.
අහ්මදාබාද්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.
විරාත් කෝලි ලකුණු 43(35) කට දැවී ගිය අතර, නායක රාජත් පටිදර් ලකුණු 26 යි. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 25 ක් ද, මයාන්ක් අගාර්වල් හා ජිටේෂ් ෂර්මා ලකුණු 24 බැගින් ද ලබා ගත්තා.
පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං හා ක්යිල් ජමීසන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 184 ක් පමණයි.
ශශාන්ක් සිං පන්දු 30 කින් නොදැවී ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 3 ක් සමගින්. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 39(23) යි. ආරම්භක පිතිකරුවන් වූ ප්‍රබ්සිම්රන් සිං ලකුණු 26 කට හා ප්‍රියාන්ශ් ආර්යා ලකුණු 24 කට දැවී ගියා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් හා කෘනාල් පාන්ඩ්යා කඩුලු 2 බැගින් බිද හෙලුවා.