Ultimate magazine theme for WordPress.

වසර 150 ක සංවත්සර ටෙස්ට් තරගය රෝස පන්දුවෙන් පැවැත්වීමේ තීරණයක්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් 2027 වසරේදී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා – එංගලන්ත ටෙස්ට් තරගය රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

2027 වසරේ මාර්තු 11 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙම ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතයි.

1877 වසරේදී ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය මෙම කණ්ඩායම් දෙක අතර මෙල්බර්න් ක්‍රීඩාංගනයේදීම පවත්වා තිබුණා.

1977 වසරේදී පළමු ටෙස්ට් තරගය පවත්වා වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ද ටෙස්ට් තරගයක් පවත්වා තිබූ අතර, 1877 වසරේ පැවැති ටෙස්ට් තරගයත් 1977 වසරේ පැවැති ටෙස්ට් තරගයත් ලකුණු 45 කින් ජය ගැනීමට සමත් වුණේ ඔස්ට්‍රේලියාවයි.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පවත්වන පළමු දිවා රාත්‍රී පිරිමි ටෙස්ට් තරගය බවට ද තවත් වසර දෙකකින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය පත් වීමට නියමිතව තිබෙනවා.

වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනයට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව හා රූපවාහිනිය ඔස්සේ ලොව පුරා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹීමේ පහසුකම සැලසීමේ අරමුණ ඇතිව මෙම ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.