Ultimate magazine theme for WordPress.

වයිඩ් හා නිපන්දු සංග්‍රහයත්, අලීගේ සටන්කාමී ප්‍රහාරයත් පසෙකලා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Match Report

කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම වාර්තා කළ අර්ධ ශතක හා වැඩබලන නායක චරිත් අසලංකගේ වේගවත් පිතිහරඹය මෙන්ම තරගයේ අවසන් පන්දුවාරයේ දී දසුන් ශානක දැක් වූ අනර්ඝ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) සමත් වුණා.

සිල්හෙට් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 207 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203 ක් පමණයි.

මෙම තරගයේ දී මතීෂ පතිරණ ඉතා දුර්වල පන්දු යැවීමක නිරත වූ අතර, අවසන් පන්දුවාර කිහිපය ඔහු යොමු කළේ ආබාධයක් ද සහිතවයි. ඔහුගේ දුර්වල පන්දු පාලනය හමුවේ වයිඩ් පන්දු රැසක් (9 ක්) මෙම තරගයේ දී ද වාර්තා වූ අතර, නිපන්දු තුනක් ද යොමු කරනු ලැබුවා. ඒ අනුව පන්දුවාර 4 තුළ දී මතීෂ ලකුණු 56 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බංග්ලාදේශයට ප්‍රදානය කළ අතිරේක ලකුණු ප්‍රමාණය 19 ක්. එම දුර්වල පන්දු යැවීම හේතුවෙන්ම, පහසුවෙන් ජය ගත හැකිව තිබූ තරගයක් ඉතා අපහසුවෙන් ජය ගැනීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන අතර, දෙවැනි විස්සයි 20 තරගය එළඹෙන 6 වැනිදා සිල්හෙට් හී දී ම පැවැත්වීමට නියමිතයි.

ජකර් අලීගේ සුපිරි ප්‍රහාරය හා තියුණු අවසානය

බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 115 දී දැවී ගිය පසුබිමක විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශය ජයග්‍රහනය අසලටම රැගෙන යාමට ජකර් අලී සමත් වුණේ පන්දු 34 කින් ලකුණු 68 ක් ලබා ගනිමින්. හයේ පහර හයක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

අවසන් පන්දුවාර 10 තුළ දී ලකුණු 129 ක් ජයග්‍රහනයට අවශ්‍යව තිබූ පසුබිමක ඔහු දියත් කළ සුපිරි පිතිහරඹයෙන් පසු අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට බංග්ලාදේශයට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 12 ක්. කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී දසුන් ශානක විසින් ලකුණු 8ක් පමණක් ලබා දෙමින් රිෂාද් හොසේන්ගේ හා ජකර් අලීගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමි කර දුන්නා.

මෙම තරගයේ දී ජකර් අලී සමග 6 වැනි කඩුල්ල සදහා මහෙදි හසාන් ලකුණු 65 (27) ක සුපිරි සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, මහෙදි ලකුණු 16 ක් රැස් කළා. බංග්ලාදේශය වෙනුවෙන් මහ්මුදුල්ලාහ් ද පන්දු 31 කින් ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින්.

කුසල් – සධීරගේ අනර්ඝ සම්බන්ධතාවය

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 206 ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියේ ඉනිමේ දෙවැනි පන්දුවේදීයි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් ලකුණු 19(14) ක් ලබා ගත්තා.

පන්දුවාර 4.3 ක් තුළ ලකුණු 37 ට කඩුලු 2 ක් දැවී ගිය පසුබිමක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කින් ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සමග පිටියේ එක් වූ සධීර සමරවික්‍රම සමත් වුණා.

සිය ඉනිමට වේගවත් ආරම්භයක් ලබා නොගත් නමුත්, අනතුරුව ක්‍රමානුකූලව සිය ඉනිම වේගවත් කළ මෙන්ඩිස් පන්දු 36 කින් ලකුණු 59 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සුපුරුදු පරිදි ඉනිමේ නැංගුරම බවට පත් වූ සධීර නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61 ක්. පන්දු 48 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

වේගවත් අවසානය

ඉනිමට අවශ්‍ය වේගවත් අවසානය මෙම තරගයේ දී ලබා දුන්නේ වැඩබලන නායක චරිත් අසලංක. ඔහු පන්දු 21 ක් පමණක් වැය කරමින් ලකුණු 44 ක් නොදැවී රැස් කළා. හයේ පහර හයකින් වාර්තා වූ ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 209.52 ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 4 තුළ දී ලකුණු 64 ක් වාර්තා වීම කැපී පෙනුණා.