Ultimate magazine theme for WordPress.

වනිඳු සතුව තිබූ වාර්තාව මහීෂ් තීක්ෂණගේ නමට

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(7) නව වාර්තා කිහිපයක්ම පිහිටුවීමට සමත් වුණා.

ඒ, 21 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින තරගයේ දී එක්දින වරම් දිනා ගනිමින්.

21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ඔහු බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එමෙන්ම ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් සිව්වැනි ක්‍රීඩකයා ලෙස ද මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණා.

මීට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි හා තිලාන් තුෂාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගෙන තිබුණා.

අද තරගයේ දී ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් මහීෂ් තීක්ෂණ වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් තරගයේ දී දග පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්.

මීට පෙර වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ පස් වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාව වන්නේ ද මහීෂ් තීක්ෂණ අද පෙන්නුම් කළ දක්ෂතාවයයි.

උවයිස් කර්නයින් ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියා තිබෙනවා.