වනිදු හසරංගට යළිත් තරග තහනමක් පනවයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට යළිත් තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.
විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේ දී හසරංග විසින් විනිසුරුවරයකුගෙන් සිය හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුව ඇති බවත් අයි.සී.සීය පෙන්වා දෙනවා.
මෙම වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා ඇති අතර, තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබෙනවා.
ඒ අනුව මාස 24 ක් තුළ ඔහුගේ දඩුවම් ලකුණු ප්‍රමාණය 8 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක හෝ එක්දින තරග 4ක හෝ විස්සයි 20 තරග 4ක තහනමක් පැනවීමට සිදු වනවා. ඒ, දඩුවම් ලකුණු 8ක් විනය වාර්තාවට ඇතුළත් වූ විට එය අත්හිටුවීමේ ලකුණු 4කට (four suspension points) සමාන වන බැවින්.
ඒ අනුව ඔහුට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි අයි.සී.සීය සදහන් කළේ.
ඔහු පසුගිය වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබූ නමුත්, එම තීරණය නැවත සංශෝදනයට ලක් කරමිනුයි ඔහු බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවුණේ.
ඔහුව මෙම ටෙස්ට් තරගාවලියට නම් කර නොතිබුණේ නම් වනිදු හසරංගට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග හතරම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.
කෙසේ වෙතත්, එළඹෙන ටෙස්ට් තරගාවලියට ඔහු එක්වීමට නියමිතව සිටි බැවින් ඔහුට එම තරග දෙක පමණක් තහනම් කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 තරගයේ දී ද ඔහු විනිසුරු තීරණයකට විරුද්ධ වීම නිසා ඔහුගේ දඩුවම් ලකුණු ප්‍රමාණය 5ක් දක්වා ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් විස්සයි 20 තරග දෙකක තහනමකට මුහුණ දීමට හසරංගට සිදු වුණා.