Ultimate magazine theme for WordPress.

“වනිදුව අවධානමකට ලක් කරන්න බැහැ” වනිදු එක්දින තරගාවලියෙන්ම ඉවතට ?

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ලම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ වැඩි ඉඩක් ඇති බව HitWicket.lk වෙබ් අඩවිය වෙත වාර්තා වුණා.

ඒ, ඔහු පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.

විශේෂයෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තවත් මාස කිහිපයක් පමණක් ඉතිරිව ඇති බැවින් වනිදු හසරංග මෙම තරගාවලිය සදහා යළි ක්‍රීඩා කරවීම තුළින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අවධානමකට ලක් කිරීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානයෙන් පසුවන නමුත්, ඔහුට තවත් කොපමණ කාලයක් විවේක ගත යුතු දැයි නිශ්චිතව නිගමනය කර නොමැති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

ආබාධය හේතුවෙන් වනිදු හසරංගට දෙරට අතර පසුගියදා පැවැති දෙවැනි එක්දින තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු පළමු එක්දින තරගයේ දී පන්දු 19කින් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේ දී ලකුණු 58කට කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවැනි එක්දින තරගය හෙට(19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙස තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.