Ultimate magazine theme for WordPress.

වනිදුට හා දුෂ්මන්තට IPL යන්න තාම අවසර දුන්නේ නැහැ, ඉල්ලුවෙත් නැහැ – SLC

වනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා.

ඔවුන් දෙදෙනොගෙන් කිසිවෙකුත් ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර නොමැති බවත්, IPL තරගාවලියට ඔවුන් තෝරා ගෙන ඇති බවට ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් දැනුවත්ව නොමැති බවත් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කළා.

“මම දන්නේ නැහැ, මට පරීක්ෂා කරන්න සිදු වෙනවා. මෙම මාසය අවසන් වන තුරු අපි ඉන්නේ රට වසා දැමීමක් තුළයි” යනුවෙන් ඔහු කියා සිටියා.

“අපි තවමත් කිසිදු තීරණයක් ගෙන නැහැ. ඔවුන්ට සිද්ධවෙනවා අවසර ගැනීම සදහා අයදුම් කරන්න. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ගැන අපි දැනුවත් වීමක් වෙලා නැහැ, ඔවුන් අපෙන් අවසර ඉල්ලා නැහැ.”

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම සමග එක් වූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම ඊයේ(21) නිවේදනය කළා.

එම කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට ඔහුව ආදේශ කෙරුණු අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද RCB කණ්ඩායම සමග එක්ව ඇත්තේ Daniel Sams වෙනුවටයි.

මෙම වසර මුල පැවැති IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් වූ නමුත්, ඔවුන් දෙදෙනා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, මෑතකදී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ දී චමීර හා වනිදු දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ඔවුන් සම්බන්ධයෙන් අයි.පී.එල් කණ්ඩායම්වලද අවධානය යොමු වුණේ.

අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් දින දෙකකට පසුව, එනම් ඔක්තෝබර් 17 වනදායි 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මනා යෝග්‍යතාවයකින් පසු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව වී ඇති බව ද සදහන්.

ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව ඕමාන තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇත්තේ ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන්.

Leave a comment
logo