ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයටත් සංශෝදනයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා වෙනුවට 14 වැනිදා පැවැත්වීමට මේ වන විට තීරණයකට එළඹ තිබෙනවා.
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙම සංශෝදනය සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකගතාවය පල කර ඇති බවයි.
කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සංශෝදිත කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ. එය මෙම සති අන්තයේ දී පමණ නිවේදනය කිරීමට ඉඩ ඇති බව සදහන්.
තරගය එක් දිනකට පෙර පැවැත්වීමට කටයුතු කෙරුණ ද තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක් සිදු කර නැහැ. ඒ අනුව නියමිත පරිදි ඉන්දු-පාකිස්තාන තරගය අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.
මෙම දින සංශෝදනය ලෝක කුසලානය යටතේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට ද බලපා තිබෙනවා. එම තරගය හයිදරාබාද් හී දී ඔක්තෝබර් 12 වැනිදායි පැවැත්වීමට නියමිතව තිබුණේ.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ වෙනසක් සිදු කර නැතත්, එම තරගය ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට මේ වන විට එකගතාවයකට එළඹ ඇති බව සදහන්. ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට එරෙහි තරග දෙක අතර සැලකිය යුතු පරතරයක් පාකිස්තානයට ලබා දීම වෙනුවෙන් එම සංශෝදනය සිදු කර තිබෙනවා.
හින්දු උත්සවයක් වන නවරාත්‍රී උත්සවයේ පළමු දිනය ද ඉන්දු-පාකිස්තාන තරගය පැවැත්වීමට නියමිතව තිබූ ඔක්තෝබර් 15 වැනිදාට යෙදී තිබීම හේතුවෙන් එදින අදාළ තරගය සදහා ආරක්ෂාව ලබා දීමේ ගැටලුවක් පැන නගින බව එරට පොලීසිය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබූ බවයි වාර්තා වුණේ. තරග කාලසටහනෙහි මෙම සංශෝදනය සිදු කිරීමට එය හේතු වුණා.
කෙසේ වෙතත්, ක්‍රිකට් ආයතන රැසකින් තරග කාලසටහනෙහි සංශෝදන සිදු කරන ලෙසට ලද ඉල්ලීම් හේතුවෙන් එහි සංශෝදනයක් සිදු කිරීමට කටයුතු කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණේ.
මේ වන විට නිවේදනය කර ඇති ලෝක කුසලාන කාලසටහනට අනුව ඔක්තෝබර් 14 වැනිදා තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එනම්, එංගලන්ත-ඇෆ්ඝනිස්තාන තරගය හා නවසීලන්ත-බංග්ලාදේශ තරගයයි. ඉන්දු-පාකිස්තාන තරගය එදින පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් අදාළ තරග දෙකෙන් අවම වශයෙන් එක් තරගයක් හෝ වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.
තරග නැරඹීම සදහා ක්‍රීඩාලෝලීන්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ද ජගත් ක්‍රිකට් කවුන්සලය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් අවස්ථාව ලබා දී නැහැ.