Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ලබන 21 වැනිදා සිට සිම්බාබ්වේහී දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (16) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය රටවල් 9 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය මාස 5 ක කාලය තුළ පුහුණු සැසි රැසකට සහභාගී වූ අතර, නේවාසික පුහුණු කඳවුරු 3ක් ද ඊට අයත්.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසියට එක් වුණේ ඊයේ (14) දිනයේ දී පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී යි.

ඔස්ට්‍රේලියාවේ පැවැති බිග් බෑෂ් ලීග් කාන්තා 20යි 20 තරගාවලියට එක්ව සිටි චමරි අතපත්තු ද දිවයිනට යළි පැමිණීමෙන් පසුව පළමු වරට එම පුහුණු සැසියට සහභාගී වුණා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ‘A’ කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ නෙදර්ලන්තයයි.

පැපුවා නිව්ගිනියා කණ්ඩායම ද මෙම කාණ්ඩයට ඇතුළත්ව සිටි නමුත්, කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා ඔවුන් තරගාවලියෙන් ඉවත් වුණා.

මූලික වටයෙන් පසුව ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගනු ඇති.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා අවසන්.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මෙම තරගාවලිය පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, කොවිඩ් 19 වෛරසයේ බලපෑම නිසා එය කල් දැමීමටත්, පසුව එය සිම්බාබ්වේහිදී පැවැත්වීමටත් අයි.සී.සීය තීරණය කළා.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය : චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

පුහුණු කාර්යය මණ්ඩලය – හෂාන්ත තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), හේමන්ත දේවප්‍රිය (කළමනාකරු), ටස්නීම් යුසුෆ් (භෞත චිකිත්සක), රවීන්ද්‍ර පුෂ්පකුමාර (වේග පන්දු පුහුණුකරු), ලංකා ද සිල්වා (පිතිකරණ පුහුණුකරු), චාමිකා පෙරේරා (සම්භාහක), දිනුක් හෙට්ටිආරච්චි (දඟ පන්දු පුහුණුකරු), කවිරංග විජේසිංහ (පරිගණක විශ්ලේෂක), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), මතීෂ ද සිල්වා (වෛද්‍යවරයා), ඉන්ද්‍රානී ආරියරත්න (ක්‍රීඩිකාවන් භාර නිලධාරිණී)

(ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියේ පල වූ ලිපියක් ද ඇසුරිනි)