ලිවින්ග්ස්ටන්ගේ 95* හා පන්දු යවන්නන්ගේ දක්ෂතා එංගලන්තය සම තැනට ගෙන යයි
Match Report
ලියම් ලිවින්ග්ස්ටන්ගේ විශිෂ්ඨ ඉනිම හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.
සවුත්හැම්ටන්හී දී පැවැති තරගයේ එක් ඉනිමක් පන්දුවාර 34 කට සීමා කිරීමට සිදු වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 34 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 226 ක් ලබා ගත්තා.
ඒ, ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 8 ක් තුළ ද, 4 වැනි කඩුල්ල ලකුණු 28 ක් තුළ ද දැවී ගිය පසුබිමකයි.
බිද වැටුණු ඉනිම ගොඩ ගත් ලිවින්ග්ස්ටන් පන්දු 78 කින් වේගවත් ලකුණු 95 ක් නොදැවී රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.
සෑම් කරන් ලකුණු 42 ක්, මොයීන් අලී ලකුණු 33 ක් හා ජොස් බට්ලර් ලකුණු 30 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක් ද, ටිම් සවුති කඩුලු 2 ක් ද බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 26.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.
ඩැරල් මිචෙල් ලකුණු 57 ක් හා විල් යන්ග් ලකුණු 33 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී හා රීස් ටොප්ලි කඩුලු 3 බැගින් දවා ගත්තා. මොයින් අලී බිද හෙලූ කඩුලු ගණන 2ක්.