Ultimate magazine theme for WordPress.

‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට පළමු තරග 20 න් මිලියන 6.7 ක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ දක්වා රුපියල් මිලියන 6.7 ක මුදලක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීම වෙනුවෙන් එක්රැස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ මූලික වටයේ තරග 20 දී වාර්තා වූ හයේ පහර, හතරේ පහර හා නිලකුණු පන්දු ප්‍රමාණය අනුවයි එම මුදල එක්රැස් වී ඇත්තේ.

මේ වන විට පිතිකරුන් විසින් හයේ පහර 185 ක්, හතරේ පහර 497 ක් එල්ල කර ඇති අතර, වාර්තා වී ඇති නිලකුණු පන්දු ප්‍රමාණය 1802 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෑම හතරේ පහරකටම රුපියල් 4000 ක මුදලක් ද, සෑම හයේ පහරකටම රුපියල් 6000 ක මුදලක් ද, සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2000ක මුදලක් ද ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ද ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කෙරෙනු ඇති.

මේ අතර, මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට(17) ආරම්භ වනවා.

අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ දඹුල්ල අවුරා හා ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් දෙකයි. එම තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

රාත්‍රී 7.30ට ආරම්භ වන අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය සදහා ක්‍රීඩා කරන්නේ බී-ලව් කැන්ඩි කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.