Ultimate magazine theme for WordPress.

ලකුණු 74ක් තුළ කඩුලු 8ක් බිද වැටීමෙන් එංගලන්තයට පළමු තරගයෙන් දරුණු පරාජයක්

Match Report

එංගලන්තය සමග පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව අද(11) සමත් වුණා.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 20ක ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට හිමි වූ අතර, එම ඉලක්කය ඔවුන් සපුරා ගත්තේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.

ඇලෙක්ස් කෙරී හා මාර්කස් හැරිස් ඉනිම ආරම්භ කළ අතර, කෙරී ලකුණු 9කට දවා ගැනීමට ඔලී රොබින්සන් සමත් වුණා. හැරිස් නොදැවී ලකුණු 9යි.

ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 220ක් ලබා මෙම තරගයට යළි අවතීර්ණ වෙමින් සිටියා.

කෙසේ වෙතත්, අද දිනය ආරම්භයේ සිටම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් එංගලන්තයට එල්ල වූ අතර, එහි ප්‍රතිපලය වූයේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 297කට සීමා වීමයි.

ඩාවිඩ් මලාන් ලකුණු 82කට දැවී ගියේ නේදන් ලියෝන්ගේ 400 වැනි ටෙස්ට් කඩුල්ල වශයෙන්.

නායක ජෝ රූට් ලකුණු 89කට දවා ගැනීමට කැමරන් ග්‍රීන් සමත් වුණා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 8 අද දිනයේ දී දැවී ගියේ ලකුණු 74ක් තුළ වීම කැපී පෙනුණා.

ජොස් බට්ලර් ලකුණු 23කටත්, බෙන් ස්ටොක්ස් ලකුණු 14කටත්, ඔලී පෝප් ලකුණු 4කටත් දැවී ගිය අතර, ක්‍රිස් වෝක්ස් ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නේදන් ලියෝන් ලකුණු 91කට කඩුලු 4ක් දවා ගත් අතර, පැට් කමින්ස් හා කැමරන් ග්‍රීන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 147ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 425ක් රැස් කළා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 152ක් රැස් කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම ජයග්‍රහනයත් සමග තරග 5කින් යුත් අලුබදුන තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.