ලකුණු 42 ක ජයකින් ඉන්දියාව තරග 4-1 ක් ලෙස තරගාවලිය දිනයි
Match Report

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(14) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.
Dion Myers ලකුණු 34 ක් රැස් කළ අතර, Tadiwanashe Marumani හා Faraz Akram ලකුණු 27 බැගින් රැස් කළා.
පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා. ශිවම් ඩූබේ කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 25 ක් ලබා දෙමින්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 45 කින් ලකුණු 58 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්.
ශිවම් ඩූබේ ලකුණු 26(12) ක් හා රියාන් පරාග් ලකුණු 22(24) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 19 කට කඩුලු දෙකක් දවා ගත්තා.