Ultimate magazine theme for WordPress.

ලකුණු 401 නවසීලන්තයට මදි වෙයි – පාකිස්තානයට සුපිරි ජයක් ; දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

Match Report

නවසීලන්තයෙන් ලද ලකුණු 402 ක දැවැන්ත අභියෝගයට ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දෙමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (4) සමත් වුණා. ඒ, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සිය බලාපොරොත්තු ද තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගනිමින්. මෙම ප්‍රතිපලයත් සමග දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.

නවසීලන්තය අඛණ්ඩව පරාජයට පත් වූ සිව්වැනි තරගය මෙය වීම ද කැපී පෙනෙනවා. මෙම පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ නවසීලන්ත බලාපොරොත්තු ද මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය ක්‍රීඩා කරන මීළග තරගය අනිවාර්යයෙන්ම ඔවුන් ජය ගත යුතු තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

බැංගලූරුහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 401 ක් රැස් කළේ පාකිස්තානයට දැවැන්ත ඉලක්කයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, පාකිස්තානය ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ අතර, පාකිස්තාන ඉනිමට අවස්ථා දෙකක දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා‍.

පළමු අවස්ථාවේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අවස්ථාවේ දී පාකිස්තානය පන්දුවාර 21.3 ක් අවසානයේ දී එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 150 ක්. පසුව පාකිස්තානයට පන්දුවාර 41 කදී තරගය ජය ගැනීමට ලකුණු 342 ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා යාමේ දී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට පාකිස්තානය පන්දුවාර 25.3 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 200 ක්. එම අවස්ථාවේ දී පාකිස්තානය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 21 ක් ඉදිරියෙන් පසු වුණා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගයේ ජය පාකිස්තානයට හිමි වුණා.

ෆකාර් සමාන් පන්දු 81 කින් නොදැවී ලකුණු 126 ක් රැස් කළේ හයේ පහර 11 ක් හා හතරේ පහර 8 ක් සමගින්. බාබර් අසාම් නොදැවී ලකුණු 66(63) යි.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 108 (94) ක් හා නායක කේන් විලියම්සන් ලකුණු 95 (79) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහමඩ් වසීම් ලකුණු 60 කට කඩුලු 3 ක් දවා ගත්තා.