ලකුණු 117 ක ජයක් සමග එක්දින තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට
Match Report

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 117 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 236 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණයි.
නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 50 ක් හා කර්ටිස් කැම්පර් ලකුණු 43 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ පසු කර ගියේ නැහැ.
පන්දු යැවීමේ දී මොහමඩ් නබී ලකුණු 17 කට කඩුලු 5ක් දවා ගත් අතර, මෙම තරගයේ දී එක්දින වරම් දිනූ Nangeyalia Kharote ලකුණු 30 කට කඩුලු 4ක් දවා ගත්තා.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 69 ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 51 ක් රැස් කළා. මොහමඩ් නබී ලකුණු 48යි.
පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 51 කට කඩුලු 3 ක් බිද හෙලුවා.