Ultimate magazine theme for WordPress.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නිල ලාංජනය එළි දකියි

ඉන්දීය ප්‍රිමියර් ලීග්(අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට මෙම වසරේ සිට එක්වන නව කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නිල ලාංජනය (Logo) අද(31) එළි දැක් වුණා.

එම කණ්ඩායම නිවේදනය කළේ පුරාණ ඉන්දීය පුරාවෘත්තවල ආභාෂය ලබා ගනිමින් මෙම ලාංජනය නිර්මාණය කර ඇති බවයි.

RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් නව අයි.පී.එල් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීයි.

RPSG සමූහය මීට පෙර ද 2016 හා 2017 වසරවලදී අයි.පී.එල් තරගාවලිය හා සම්බන්ධ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙකට පැනවූ වසර දෙකක තහනමත් සමග තරගාවලියට ඇතුළත් කෙරුණු පූනේ කණ්ඩායමේ (රයිසින් පූනේ සුපර් ජයන්ට්ස්) හිමිකාරීත්වය ලබා ගනිමින්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස කේ.එල් රාහුල් කටයුතු කිරීමට නියමිතයි.

ලක්නව් කණ්ඩායම විසින් මේ වන විට කේ.එල් රාහුල්ට අමතරව රවී බිෂ්නෝයි හා ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් සමග ද ගිවිසුම් ගතව තිබෙනවා.

රාහුල් සදහා ඉන්දීය රුපියල් කෝටි 17ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46ක් පමණ) ගෙවා ඇති අතර, එය ඉතිහාසගත වුණේ අයි.පී.එල් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම්ගත වූ සම ඉහළම වටිනාකම වශයෙන්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ලාංජනය –