Ultimate magazine theme for WordPress.

රෝහිත්ගේ ශතකය හා ජඩේජා-පටෙල් සබදතාවය පළමු තරගයේ පාලනය ඉන්දියාවට නතු කරයි

Day 2 Report

ඉන්දීය නායක රෝහිත් ෂර්මා වාර්තා කළ විශිෂ්ඨ ශතකය සහ රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් නොදැවී වාර්තා කළ අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව නාග්පූර්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ද සියලු ගෞරව හිමි කර ගනිමින් තරගයේ පාලනය තවදුරටත් සියතට ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(10) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 177 ට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව අද දිනය සදහා තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 321 ක්.

රෝහිත් අද වාර්තා කළේ ඔස්‍ට්‍රේලියාවට එරෙහිව හා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඔහු වාර්තා කළ පළමු ටෙස්ට් ශතකයයි. ලකුණු 120 කට සීමා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්.

දිනය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 77 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස රවිචන්ද්‍රන් අශ්වින් දැවී ගියේ ලකුණු 23 ක් ලබා සිටියදීයි. චෙටස්වර් පුජාරා ලකුණු 7කටත්, විරාත් කෝලි ලකුණු 12 කටත් දැවී ගියා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ පිතිකරුවන් දෙදෙනෙකු වන සූර්යකුමාර් යාදව් හා කේ එස් භාරත් දැවී ගියේ ලකුණු 8 බැගින් ලබා සිටියදීයි.

7 වැනි කඩුල්ල ලකුණු 240 දී බිද වැටුණු අතර, අනතුරුව 8 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් සමත්ව තිබෙනවා.

පන්දු යැවීමේ දී කඩුලු 5 ක් ද දවා ගත් ජඩේජා මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 66 ක්. අක්සාර් නොදැවී ලකුණු 52 යි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන Todd Murphy ලකුණු 82 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 144 ක්.