Ultimate magazine theme for WordPress.

රුටුරාජ්ගේ ශතකය අපතේ යයි ; ජයිස්වාල්ගේ හා ඩූබේගේ ප්‍රහාරය රාජස්ථානයට ජය ගෙනෙයි

Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක තබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 47 වන තරගයෙන් ඔවුන් ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ඨ ජයග්‍රහනයක් වාර්තා කිරීමත් සමගයි.

මේ වන විටත් චෙන්නායි හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා ඇති අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, කොල්කටා නයිට් රයිඩර්ස්, පංජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස් හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා සිටීම විශේෂත්වයක්.

අබුඩාබිහී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් පිල පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

  • CSK 189/4 (20)

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළේ රුටුරාජ් ගයික්වඩ් වාර්තා කළ සිය මංගල අයි.පී.එල් ශතකයෙන් සවිමත් වෙමින්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25කට දැවී ගියා. සුරේෂ් රයිනා රැස් කළේ ලකුණු 3ක් පමණයි. මොයීන් අලී ලකුණු 21ක් ලබා ගත් අතර, අම්බටි රයිදු ලකුණු 2කට දැවී ගියා.

කෙසේ වෙතත්, පළමු පන්දුවේ සිට අවසන් පන්දුව දක්වා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වඩ් පන්දු 60කින් සිය ශතකය (101) වාර්තා කළා. ඊට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්. ඔහුට සිය ශතකය වාර්තා කිරීමටනම් චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 5ක් ලබා ගත යුතුව තිබුණා. මුස්ටර්ෆිසුර් රෙහ්මාන් යොමු කළ එම පන්දුවේ දී රුටුරාජ් ගයික්වඩ් සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

ALSO READ : අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් සමගින් රුටුරාජ් ශතකය වාර්තා කළ හැටි

ඉනිමට සාර්ථක අවසානයක් ගෙන දුන් රවීන්ද්‍ර ජඩේජා පන්දු 15කින් වේගවත් ලකුණු 32ක් රැස් කළා. ඊට එක් හයේ පහරක් හා හතරේ පහර 4ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී රාහුල් තෙවාටියා ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා.

  • RR 190/3 (17.3)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දීමට එවින් ලුවිස් හා යශස්වි ජයිස්වාල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ලට පන්දුවාර 5.2ක් තුළ ලකුණු 77ක් එක් කරමින්. ලුවිස් ලකුණු 27(12)කට දැවී ගියා. හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු 19කින් සිය අර්ධ ශතකය වාර්තා කළ ජයිස්වාල් පන්දු 21කදී ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 3කින් හා හතරේ පහර 6කින් ඔහු සිය ඉනිම වර්ණවත් කළා. ජයිස්වාල්ගේ අර්ධ ශතකය වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර වරම් නොලැබූ ඉන්දීය පිතිකරුවෙකු අයි.පී.එල් පිටියේ දී වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව ද ඉනිමේ රිද්මය ආරක්ෂා කළ ෂිවම් ඩූබේ සුපිරි ඉනිමක් දියත් කළේ රාජස්ථාන් පිල විශිෂ්ඨ ජයග්‍රහනයක් කරා රැගෙන යමින්. ඔහු පන්දු 42කින් නොදැවී ලකුණු 64ක් රැස් කළා. ඒ, හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඉනිමට එක් කරමින්.

නායක සංජු සැම්සන් ලකුණු 28ක් ද, ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 14ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී ශාර්දුල් තාකූර් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.