රෂීඩ්ට තරගාවලියම අහිමි වෙද්දී ඉන්දීය සුපිරි පිතිකරුවාටත් පළමු තරගය අහිමි වෙයි

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිතව මුහුණ දුන් ශල්‍යකර්මයෙන් පසුව තවමත් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවීම හේතුවෙන්.
ඒ හේතුවෙන් ඔහුට නිමා වූ බිග් බෑෂ් ලීග් හා අද ආරම්භ වන SA20 තරගාවලිය ද අහිමි වුණා.
රෂීඩ් ඛාන් ඉන්දියාවට එරෙහි ඇෆ්ඝනිස්තාන සංචිතයට නම් කෙරුණු අතර, ඔහු කණ්ඩායම සමග ඉන්දියාව වෙත ද පැමිණ සිටිනවා.
කෙසේ වෙතත්, නායක ඊබ්‍රහීම් සඩ්‍රාන් සදහන් කළේ ඔහු තවමත් තරග ක්‍රීඩා කිරීමට තරම් සුදුසු යෝග්‍යතාවයක පසු නොවන බවයි.
මේ අතර, ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට ද පළමු 20යි 20 තරගය අහිමි වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු හෙට(11) පැවැත්වෙන පළමු 20යි 20 තරගය සදහා ක්‍රීඩා නොකරන බවයි ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සදහන් කළේ.
කෙසේ වෙතත්, ඔහු අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස මෙම තරගාවලියේ දී රෝහිට් ෂර්මා සමගින් යශස්වි ජයිස්වාල් කටයුතු කිරීමට නියමිතයි.
මෙම 20යි 20 තරගාවලිය 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දියාව ක්‍රීඩා කරන අවසන් 20යි 20 තරගාවලිය වන අතර, ඇෆ්ඝනිස්තානය හා ඉන්දියාව අතර ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.
දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය හෙට(11) මොහාලි හී දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.