රටවල් දෙකක් වෙනුවෙන් ශතක රැස් කළ බැලන්ස් ක්‍රිකට් පිටියට සමු දෙයි
මෑතකදී සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ, හිටපු එංගලන්ත හා යෝක්ෂයර් ක්‍රීඩක ගැරී බැලන්ස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි තමා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි ඔහු සදහන් කළේ.
33 හැවිරිදි ඔහු 2014-2017 කාලයේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් හා එක්දින තරග 16 ක් ක්‍රීඩා කළ අතර, එහිදී ටෙස්ට් ශතක 4ක් වාර්තා කිරීමට සමත් වුණා.
2022 තරග වාරය අවසන් වීමත් සමග යෝක්ෂයර් කණ්ඩායම විසින් ඔහුව කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කරනු ලැබුවා.
සිම්බාබ්වේ හි උපත ලද බැලන්ස් අනතුරුව සිම්බාබ්වේහි දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම සදහා පසුගිය දෙසැම්බර් මාසයේ දී වසර දෙකක ගිවිසුමක් අත්සන් කළා.
ඒ අනුව ජනවාරි – මාර්තු කාලයේ දී ඔහු සිම්බාබ්වේ වෙනුවෙන් ජාත්‍යන්තර තරග 8ක් ක්‍රීඩා කළ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී ලකුණු 137 ක් නොදැවී වාර්තා කිරීමට ද ඔහු සමත් වුණා.
බැලන්ස් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ තරගයේ දීම මෙම ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.
ඒ අනුව ගැරී බැලන්ස් ඉතිහාසගත වුණේ රටවල් දෙකක් වෙනුවෙන් ටෙස්ට් ශතක වාර්තා කළ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.
ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට ටෙස්ට් තරග 24 කදී ලකුණු 1,653 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ඉනිමක සාමාන්‍ය 40.31 ක් ලෙස සටහන් කර ගනිමින්.