රටවල් දෙකකදී තරග දෙකක් ක්‍රීඩා කළ දසුන්ට වැඩ වරදින ලකුණු

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කොළඹ පැවැති පළමු පෙළ තරඟයක් අවසන් වීමට පැය කිහිපයකට පෙර එම තරගයෙන් ඉවත්ව එදින පස්වරුවේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති International League T20 (ILT20) තරගාවලියට ක්‍රීඩා කළ බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
දසුන් ශානක කම්පන තත්ත්වයකින් පසු වූ බවට විශ්වාස කරමින් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු SSC කණ්ඩායමට ආදේශ (Concussion substitute) කිරීම සදහා අනුමැතිය ලබා දීමට තරම් තරග තීරක වෙන්ඩෙල් ලැබ්රෝයිට හේතු තිබූ බවයි සදහන් වන්නේ.
ඒ අනුව කම්පන තත්ත්වයකින් පසු වූ දසුන් ශානක එදිනම පස්වරුවේදී ඩුබායිහීදී තවත් තරගයක් ක්‍රීඩා කළේ කෙසේ ද යන්න මෙහිදී පැන නගින ගැටලුවක් වී තිබෙනවා.
ඒ හේතුවෙන් SSC ක්‍රීඩා සමාජය ද බොහෝ විට ඔවුන්ගේම පරීක්ෂණයක් ද මේ සම්බන්ධයෙන් පවත්වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කළා.
පළමු පෙල තරගය අතරතුර ගෙල ප්‍රදේශයේ පන්දුවක් වැදීම හේතුවෙන් දසුන් යම් අනතුරකට මුහුණ දී තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු එදින ක්‍රීඩා කර ඇත්තේ ඔහු ඒ සදහා සුදුසු තත්ත්වයක පසුවන බවට වෛද්‍ය නිර්දේශ ලැබීමෙන් පසුව බව සදහන්.
SSC කණ්ඩායම මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන ස්ථරය දක්වා පහතට ඇද වැටීමේ අවධානමක් මේ වන විට පවතින බැවින් එම කණ්ඩායම විසින් ILT20 තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු මෙරටට කැදවීමට පියවර ගත්තා. එම ක්‍රීඩකයින් අතරට දසුන් ද ඇතුළත් වුණා.
මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ SSC කණ්ඩායම හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය සදහා ඔහු පසුගිය 31 වැනිදා සිට ක්‍රීඩා කළ අතර, එම තරගයේ අවසන් දිනය වූයේ පෙබරවාරි දෙවැනිදායි.
එම තෙදින තරගයේදී මුවර්ස් පිල පළමුව පන්දුවට පහරදුන් අතර, තරගයේ දෙවැනි දිනය නිමා වන විට දසුන් SSC පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 39 ක් නොදැවී රැස් කර තිබුණා. තෙවැනි දිනයේදී තවත් ලකුණු 84 ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. ඒ අනුව පන්දු 87 කින් ශානක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 123 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.
අනතුරුව දසුන් ඩුබායි නුවර බලා පිටත්ව ගොස් තිබූ අතර, එහිදී ඔහු International League T20 තරගාවලිය යටතේ Dubai Capitals හා Abu Dhabi Knight Riders කණ්ඩායම් අතර පැවැති තරගය සදහා එක් වුණා. ඩුබායි කණ්ඩායම නියෝජනය කළ දසුන් එම තරගයේදී පන්දු 12 කින් වේගවත් ලකුණු 34 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.
තෙදින ක්‍රිකට් තරගයේ මුවර්ස් පළමු ඉනිමේදී දසුන් ශානක පන්දුවාර 21 ක් යොමු කර තිබූ නමුත් ඔහු දෙවැනි ඉනිමේදී පන්දු යැවීමට කටයුතු කළේ නැහැ. එමෙන්ම SSC දෙවැනි ඉනිම ද තෙවැනි දිනයේදීම ක්‍රියාත්මක වූ නමුත්, දිනය නිමා වන විට SSC ඉනිමේ දැවී ගොස් තිබුණේ එක් කඩුල්ලක් පමණයි.