Ultimate magazine theme for WordPress.

මෙවර IPL තරගාවලියේ ලීග් තරග පැවැත්වෙන ආකාරය හා කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු

අද(26) ආරම්භ වන 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලිය පසුගිය වසර කිහිපයේ දී පැවැති ආකාරයට වඩා වෙනස් ආකාරයකින් මෙවර පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින්ට සිදුව තිබෙනවා.

ඒ, මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් වෙනුවට කණ්ඩායම් 10ක් තරග වදින බැවින්.

ඒ අනුව මූලික වටයේ දී තරගාවලියට එක්වන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකක් යටතට බෙදා ඇත්තේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් වන අයුරින්.

ඒ ඒ කණ්ඩායම් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති වාර ගණන හා අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබූ වාර ගණන පිළිබද සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් කාණ්ඩගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම් 4 සමග අවස්ථා දෙක බැගින් තරග කිරීමට නියමිතයි.(තරග 8ක්)

එමෙන්ම එක් කණ්ඩායමක් අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් 4 කට එරෙහිව එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට ද (තරග 4ක්) නියමිතව තිබෙනවා.

අදාළ කණ්ඩායම ප්‍රතිවාදී කාණ්ඩයේ එක් කණ්ඩායමකට එරෙහිව පමණක් තරග දෙකක් ක්‍රීඩා කරන අතර, එම කණ්ඩායම තීරණය වන්නේ එක් එක් කණ්ඩායම කාණ්ඩගත කිරීමේ දී රැදී සිටින තීරුව අනුවයි. (උදාහරණ සහිතව පහතින් විස්තර කර ඇත)

ඒ අනුව ලීග් වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන සමස්ත තරග සංඛ්‍යාව 14ක් වන අතර, ලීග් වටයේ පැවැත්වෙන සියලු තරග සංඛ්‍යාව 70ක්.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –

BCCI

උදාහරණයක් ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගතහොත් ඔවුන් මෙවර තරගාවලියේ දී A කාණ්ඩයේ රැදී සිටින කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්වලට එරෙහිව දෙවරක් තරග වැදීමට නියමිතයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රැදී සිටින තීරුවට අනුව ප්‍රතිවාදී කාණ්ඩයේ අදාළ තීරුවේ රැදී සිටින්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

ඒ අනුව මුම්බායි කණ්ඩායම චෙන්නායි කණ්ඩායමට එරෙහිව ද තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රතිවාදී කාණ්ඩයේ රැදී සිටින සෙසු කණ්ඩායම් 4 වන සන්රයිසස් හයිදරාබාද්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, පංජාබ් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම්වලට එරෙහිව මුම්බායි කණ්ඩායම එක් තරගය බැගින් තරග කරනු ඇති.

අද (26) ආරම්භ වන අයි.පී.එල් තරගාවලියේ 15 වන අදියර අවසන් වන්නේ මැයි 29 වනදායි.

Leave a comment