Ultimate magazine theme for WordPress.

මුම්බායි IPL තරගාවලියෙන් ඉවතට; අවසන් වටයට තේරුණු කණ්ඩායම් 4 මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

ඒ, තරගාවලියේ 55 වන තරගයේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 170ක පරතරයක් සහිතව තරගය ජය ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

මෙම තරගයේ පළමුව පන්දුවට දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ දී ඔවුන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා. ඒ, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින්.

මුම්බායි වෙනුවෙන් සුපිරි ප්‍රහාරයක නිරත වූ ඉෂාන් කිෂන් පන්දු 32කින් වේගවත් ලකුණු 84ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 11ක් සමගින්.

සූර්යකුමාර් යාදෙව් පන්දු 40කින් ලකුණු 82ක් වාර්තා කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 13ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහනය පමණක් මුම්බායි කණ්ඩායට ප්‍රමාණවත් වූයේ නැහැ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමටනම් මුම්බායි පිල මෙම තරගයෙන් අවම වශයෙන් ලකුණු 170ක ජයක් වාර්තා කිරීම අවශ්‍ය වුණා.

ඒ අනුව ප්‍රතිවාදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 65කට හෝ ඊට අඩු ලකුණු ප්‍රමාණයක් තුළ දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන්ට සිදු වුවද, එය සාර්ථක කර ගැනීමට මුම්බායි පන්දු යවන්නන් අසමත් වුණා.

ඒ අනුව, දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් මෙවර තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන් කර ගත්තා.

Leave a comment