මිලර්ගේ ශතකය අපතේ යයි ; 8 වැනි වරටත් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Match Report

ඩේවිඩ් මිලර්ගේ සටන්කාමී ශතකය අපතේ යවමින් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු තුනක ජයක් වාර්තා කරමින් එළඹෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දියාවේ ප්‍රතිවාදීන් බවට පත් වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (16) සමත් වුණා.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට පළමු වරට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු යළි අවාසනාවන්ත ලෙස අත්හැර ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට සිදු වුණා. ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙයයි.
කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ට්‍රැවිස් හෙඩ් පන්දු 48 කින් ලකුණු 62 ක් වාර්තා කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 9 ක් සමගින්. ඔහු හා ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ලට ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර 6.1 ක් තුළදීයි. වෝනර් ලකුණු 29 කට දැවී ගියා.
මිචෙල් මාෂ් ලකුණු නොලබා සිටියදීත්, මර්නස් ලබුෂේන් ලකුණු 18කටත්, ග්ලේන් මැක්ස්වෙල් එක් ලකුණකටත් දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන් සටනට අවතීර්ණ වුණා.
කෙසේ වෙතත්, ස්ටීවන් ස්මිත් ලකුණු 30 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළ අතර, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 28 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහනයේ මාවත යළි විවර කර දුන්නා. මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 16 ක් හා පැට් කමින්ස් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි හා ජෙරාල්ඩ් කොට්සියා කඩුලු 2 බැගින් දවා ගත්තා. මෙම තරගයේ දී දකුණු අප්‍රිකානුවන් අතින් උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම ද තරගයේ ප්‍රතිපලයට බලපානු ලැබුවා.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙම තරගයේ දී ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ, පළමු කඩුලු 4 ලකුණු 24 ක් තුළ දවා ගනිමින්.
ටෙම්බා බවුමා ලකුණු නොලබාත්, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 3කටත්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 6කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 10 කටත් දැවී ගියා.
අනතුරුව 5 වැනි කඩුල්ලට ලකුණු 95 (113) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් මිලර් හා හෙන්රික් ක්ලාසන් සමත් වුණා. ක්ලාසන් ලකුණු 47 යි. මිලර් පන්දු 116 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 101 ක්. හයේ පහර 5කින් හා හතරේ පහර 8කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ජොෂ් හේසල්වුඩ් හා ට්‍රැවිස් හෙඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.