Ultimate magazine theme for WordPress.

මැතිව්ස්-අසලංකගේ ප්‍රහාරය අපතේ යයි – අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

Match Report

තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු පහ තුළ දී ලකුණු 24 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක අනපේක්ෂිත ජයක් වාර්තා කරමින් තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(16) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 173 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවසන් පන්දුවාරයේ දී ඔවුන්ට කඩුලු 4ක් අතැතිව තරගය ජය ගැනීමට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 20 ක්. නමුත්, ඇන්ජෙලෝ මැතිව්ස් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුව නිපන්දුවක් වූ අතර, ඊට හයේ පහරක් ද, නීත්‍යානුකූල පළමු පන්දුවට හතරේ පහරක් ද, දෙවැනි පන්දුවට හයේ පහරක් ද එල්ල කිරීමට ලුක් ජොන්ග්වේ සමත් වුණේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින්.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී මහීෂ් තීක්ෂණ අතින් උඩ පන්දුවක් ද ගිලිහී යාම තරගයේ තීරණයට බලපෑවා. අනතුරුව 5 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් Clive Madande සිම්බාබ්වේ කණ්ඩායමට නොතිබූ ජයක් හිමි කර දුන්නා.

ජොන්ග්වේ පන්දු 12 කින් නොදැවී ලකුණු 25 ක් රැස් කළ අතර, Madande පන්දු 5කින් නොදැවී ලකුණු 15 ක් රැස් කළා.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 22 දී බිද වැටුණේ Tinashe Kamunhukamwe ලකුණු 12 කට දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වීමත් සමගයි.

කෙසේ වෙතත්, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 74 (53) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ක්‍රෙයිග් අර්වින් සමග පිටියේ එක් වූ බ්‍රයන් බෙනට් සමත් වුණා. ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් පැවැති මෙම සම්බන්ධතාවය බිද දැමීමට සමත් වුණේ මහීෂ් තීක්ෂණ විසින්. ඒ, බෙනට් ලකුණු 25(20) කට දවා ගනිමින්.

අනතුරුව නායක සිකන්ඩර් රාසා ලකුණු අටකට දැවී ගියේ සධීර සමරවික්‍රම රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි. ශෝන් විලියම්ස් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

සටන්කාමී ඉනිමක නිරත වෙමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නේ ආරම්භක පිතිකරු ක්‍රෙයිග් අර්වින්. ඔහු ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 54 කින්. හයේ පහර දෙකක් හා හතරේ පහර 6කින් වාර්තා වූ ඔහුගේ ඉනිම අවසන් වූයේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි. රයන් බර්ල් ලකුණු 13 යි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 25 ක් ලබා දෙමින්. දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වූ අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 27 ක් තුළ බිද වැටුණේ පන්දුවාර 4.4 ක් තුළයි.

© SLC

කෙසේ වෙතත්, බිද වැටුණු ඉනිම ගොඩ නැගීමේ වගකීම කරට ගත් චරිත් අසලංක හා ඇන්ජෙලෝ මැතිව්ස් 5 වැනි කඩුල්ල සදහා පන්දු 79 කින් ලකුණු 118 ක වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එය 5 වැනි කඩුල්ල සදහා 20යි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.

මෙම සම්බන්ධතාවය ඉතා සෙමින් ආරම්භ වූ නමුත්, ශ්‍රී ලංකාව වේගවත් අවසානයක් කරා රැගෙන යාමට මෙම සම්බන්ධතාවය හේතු වුණා. පන්දුවාර 14 ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 ක් දැවී ලකුණු 83 ක් ලෙස සටහන් වූ අතර, අවසන් පන්දුවාර හය (පන්දු 36) තුළ දී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 90 ක්.

පළමු තරගයේ දී ශ්‍රී ලංකාවේ ගැළවුම්කරුවා බවට පත් වූ මැතිව්ස් මෙම තරගයේ දී ද දැඩි පීඩනයක් යටතේ සුපිරි ඉනිමක් දියත් කරමින් පන්දු 51 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහුට අනගි සහායක් ලබා දුන් චරිත් පන්දු 39 කින් වේගවත් ලකුණු 69 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

© SLC

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 4කටත් දැවී ගියා. කුසල් පෙරේරා පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, සධිර සමරවික්‍රම ලබා ගත්තේ ලකුණු 16 ක් පමණයි. 5 වැනි කඩුල්ල දැවී යාමෙන් පසු පිටියට පිවිසි දසුන් ශානක පන්දු 4කින් ලකුණු 9ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා ලුක් ජොන්ග්වේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.