මැතිවරණයක් නිසා IPL තරග කාලසටහනට වෙනසක්
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර මැයි 4 වැනිදා (බ්‍රහස්පතින්දා) ලක්නව් හී දී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගය එදින නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එදින පැවැත්වීමට නියමිත ලක්නව්හි මහ නගර සභා මැතිවරණය හේතුවෙන් මෙම පියවර ගත් බවයි අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.
ඒ අනුව මැයි 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය ඊට පෙර දින, එනම් මැයි 3 වැනිදා පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා.
මැයි 4 වැනිදා පස්වරු 3:30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ එදින තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින්.
කෙසේ වෙතත්, 46 වැනි තරගය මෙලෙස මැයි 3 වැනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමග මැයි 4 වැනිදා පැවැත්වෙන්නේ සන්රයිසස් හයිදරාබාද් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගය පමණයි.(රාත්‍රී 7.30ට)
මැයි 3 වැනිදා රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතව තිබූ පංජාබ් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයේ ද කිසිදු වෙනසක් සිදු කර නැහැ.
ඒ අනුව තරගාවලියේ 46 වැනි තරගය මැයි 3 වැනිදා පස්වරු 3:30 ට ආරම්භ කිරීමට නියමිත අතර, මැයි 4 වැනිදා වෙනුවට මැයි 3 වැනිදා තරග දෙකක් පැවැත්වෙන දිනයක් බවට පත් වනු ඇති.