මැකලම්ගේ තනතුර ස්ථීර කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය අද (12) තහවුරු කළා.
ඒ අනුව එංගලන්තයේ පුහුණුකරු ලෙස ඔහුගේ පළමු වගකීම බවට පත්වන්නේ ජූනි දෙවැනිදා සිය උපන් රට වන නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි.
වසර 4 ක කාලයක් සඳහා ඔහු ගිවිසුම් ගත වී ඇති බව සඳහන්.
ඔහු මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව මැකලම් එම ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය පෙබරවාරි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වූ ක්‍රිස් සිල්වර්වුඩ් වෙනුවටයි බ්‍රෙන්ඩන් මැකලම් මෙලෙස එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට කටයුතු කර ඇත්තේ.
සිල්වර්වුඩ් විසින් එරට සීමිත පන්දුවාර හා ටෙස්ට් යන කණ්ඩායම් සියල්ලෙහිම පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, සීමිත පන්දුවාර කණ්ඩායම සදහා වෙනම පුහුණුකරුවෙකු ද, ටෙස්ට් කණ්ඩායම සදහා තවත් පුහුණුකරුවෙකු ද අලුතින් පත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ රොබ් කී තීරණය කළේ.
40 හැවිරිදි මැකලම් ක්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් අතර, මේ දක්වා ඔහු පළමු පෙල ක්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.
කෙසේ වෙතත්, නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 101ක් සදහා ක්‍රීඩා කර තිබුණා.
2015 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාම සදහා ද ඔහු නායකත්වය දරනු ලැබුවා.