මාස 10න් දින 228ක් බුබුලු තුළ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළිත් බුබුලකට ඇතුළු වෙයි

එළඹෙන ඕමාන තරග සංචාරය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(21) යළි ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු වී තිබෙනවා.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් එලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළු වූ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් පසුගිය මාස 10ක කාලය තුළ දින 228ක් ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටි බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සදහන් කළා.
“සෑම කෙනෙකුගේම ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බරයි! සෑම දිනකම වර්ධනය වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු!” යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියා.
ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතත්, ඊට ඇතුළත්ව සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි තරග සංචාර දෙක ඔහුට අහිමි වී ඇති බව සදහන්.
කුසල් ජනිත් පෙරේරා ද ආබාධයකට ලක්ව ඇතත්, ඔහු ඉදිරි තරගාවලි දෙක සදහා ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත වශයෙන් අවසන් තීරණයකට එළඹ නැහැ.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට අමතරව, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ලෝක කුසලාන සංචිතය සදහා නම් කෙරුණා.
ක්‍රීඩකයින් ආබාධවලට ලක්වීම සැලකිල්ලට ගනිමින් තවත් අමතර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් රැගෙන යාමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
මේ අතර, ලෝක කුසලාන සංචිතයට නම් කෙරුණු වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටිනවා.
Today we enter our bubble for camp,prep tour of Oman and T20 WC!
The SL players and staff have now spent 228 days in the last 10 months in a bubble..so proud of attitude and commitment of everybody!
We are determined to get better everyday and bring success back to this country!— Mickey Arthur (@Mickeyarthurcr1) September 21, 2021