මාෂ්, සෝල්ට් ප්‍රහාරය අභිබවා අභිෂේක්ගේ හා ක්ලාසන්ගේ සුපිරි ඉනිම් සන්රයිසස් පිලට ජය ගෙනෙයි
Match Report
අභිෂේක් ෂර්මා හා හෙන්රික් ක්ලාසෙන් රැස් කළ අර්ධ ශතක හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(29) සමත් වුණා.
දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබා ගත්තා.
අභිෂේක් පන්දු 36 කින් ලකුණු 67 ක් රැස් කළා. හතරේ පහර 12 ක් හා හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
හෙන්රික් ක්ලාසන් පන්දු 27 ක් වැය කරමින් ලකුණු 53 ක් නොදැවී වාර්තා කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිචෙල් මාෂ් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.
පිල් සෝල්ට් ලකුණු 59 ක් පන්දු 35 කින් ද, මිචෙල් මාෂ් ලකුණු 63 ක් පන්දු 39 කින් ද ලබා ගත්තා. හයේ පහර 6 කින් හතරේ පහරකින් මාෂ්ගේ ඉනිම ශක්තිමත් වුණා.
මැදපෙල පිතිකරුවන්ගෙන් එතරම් සාර්ථක දායකත්වයක් දිල්ල පිලේ හඹා යාමට ලැබුණේ නැහැ. අක්සාර් පටෙල් නොදැවී ලකුණු 29 යි.
පන්දු යැවීමේ දී මයාන්ක් මාකන්ඩේ ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තා.