Ultimate magazine theme for WordPress.

මාක්‍රම්ගේ 175 හමුවේ දකුණු අප්‍රිකාව ලෝක කුසලානයට තවත් පියවරකින් ළගා වෙයි

Match Report

නෙදර්ලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 146 ක ජයක් වර්තා කරමින් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීම සදහා තවත් පියවරකින් ළගා වීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ද දකුණු අප්‍රිකාව සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 370 ක් ලබා ගත්තේ ඒඩ්න් මාක්‍රම් රැස් කළ ලකුණු 175 න් ශක්තිමත් වෙමින්. පන්දු 126 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 17 ක් ඇතුළත්.

ඩේවිඩ් මිලර් පන්දු 61 කින් වේගවත් ලකුණු 91 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 39.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

Musa Ahmed ලකුණු 61 ක් හා Max O’Dowd ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේ දී සිසන්ඩා මාගලා ලකුණු 43 කට කඩුලු 5 ක් දවා ගත්තා.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ බටහිර ඉන්දීය කො‍දෙව්වන් අභිබවා 8 වැනි ස්ථානයට පත් වීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ කො‍දෙව් බලාපොරොත්තු සුන් කරමින්.

කොදෙව්වන් (ප්‍රසාද ලකුණු 88) ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ශ්‍රී ලංකාව (ප්‍රසාද ලකුණු 81) 10 වැනි ස්ථානයේ පසුවනවා.

2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන අට තුළ රැදී සිටින කණ්ඩායම් පමණයි.

එහි පෙරමුණේ පසුවන කණ්ඩායම් 7 මේ වන විටත් ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්ව ඇති අතර, කොදෙව්වන්, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල්වලට මේ වන විට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට තර්ජනයක් එල්ල කළ හැකි එකම රට වන්නේ අයර්ලන්තය පමණයි. මැයි මාසයේ දී බංග්ලාදේශයට එ‍රෙහිව පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස අයර්ලන්තය ජයගතහොත් පමණයි අයර්ලන්තයට දකුණු අප්‍රිකාව ලබා සිටින ප්‍රසාද ලකුණු 98 ලබා ගත හැකි වන්නේ.