Ultimate magazine theme for WordPress.

මහීෂ් තීක්ෂණ ලෝකෙන්ම එක වෙයිද?

අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනා ගැනීම සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට මේ වන විට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, ඔහු පසුගිය බදාදා (12) ප්‍රකාශයට පත් කෙරුණු නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමත් සමගයි.

කෙසේ වෙතත්, බදාදා දිනයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔහු දැක් වූ දක්ෂතා මෙම ශ්‍රේණිගත කිරීම්වලට සලකා බලා නැහැ. පෙබරවාරි 11 වැනිදා දක්වා ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා පදනම් කර ගනිමිනුයි මෙම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගයේදී තීක්ෂණ කඩුලු 4 ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර, සිකුරාදා (14) දිනයේදී ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගයේදීද ඔහු සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වුවහොත් තීක්ෂණට පළමු ස්ථානය දිනා ගැනීමට බොහෝ දුරට අවස්ථාවක් හිමි වනවා.

මේ වන විට ඔහු ශ්‍රේණිගත ලකුණු 663 ක් ලබා සිටින අතර, පළමු ස්ථානයේ රැදී සිටින රෂීඩ් ඛාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 669 ක්.

මේ අතර, මෙතෙක් එක්දින පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසු වූ කුල්දීප් යාදව් මේ වන විට 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. වනිදු හසරංග ස්ථාන දෙකකින් පසුබැස ඇත්තේ 21 වැනි ස්ථානය දක්වායි.

නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක 11 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, චරිත් අසලංක සම 16 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. කුසල් මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ සම 24 වැනි ස්ථානය දක්වායි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්

මේ අතර, නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 28 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 කින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

7 වැනි ස්ථානය දක්වා කමිදු මෙන්ඩිස් එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, දිනේෂ් චන්දිමාල් රැදී සිටින්නේ 13 වැනි ස්ථානයේයි. ධනංජය ද සිල්වා ස්ථාන 4 කින් පසුබැස තිබෙනවා. ඔහුට හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි.

ඇන්ජෙලෝ මැතිව්ස් 21 වැනි ස්ථානයේ රැදී සිටිනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් දිමුත් කරුණාරත්න ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 29 වැනි ස්ථානයයි.

ටෙස්ට් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා ප්‍රභාත් ජයසූරිය ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්. අසිත ප්‍රනාන්දු 20 වැනි ස්ථානයේ රැදී සිටිනවා.