මතීෂගේ විශිෂ්ඨ උත්සාහය අවසන් පන්දුවේ දී අපතේ යයි ; පංජාබ් කණ්ඩායමට කඩුලු 4ක ජයක්
Match Report
මතීෂ පතිරණගේ විශිෂ්ඨ උත්සාහය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.
චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.
ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 92යි. පන්දු 52 කින් හයේ පහරක් හා හතරේ පහර 16 ක් සමගින් ඔහු එම ඉනිම ගොඩ නැගුවා. රුටුරාජ් ගයික්වඩ් ලකුණු 37 කටත්, ශිවම් ඩූබේ ලකුණු 28 කටත් දැවී ගියා.
නායක එම් එස් දෝනි අවසන් පන්දුවාරයේ දී පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසි අතර, ඔහු පන්දු 4 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13 ක්. ඒ, ඉනිමේ අවසන් පන්දු දෙකට එල්ල කළ සුපිරි හයේ පහර 2 ත් සමගින්. (දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)
පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං, සෑම් කරන්, රාහුල් චහාර් හා සිකන්ඩා රාසා එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.
ලකුණු 201 ක ඉලක්කයක් සාර්ථක ලෙස හඹා ගියද කිසිදු පංජාබ් පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා නොකිරීම කැපී පෙනුණා.
ප්‍රබ්සිම්රන් සිං ලකුණු 42(24) ක්, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 40(24)ක් හා සෑම් කරන් ලකුණු 29(20)ක් රැස් කළා. ජිටේෂ් ෂර්මා ලකුණු 21(10) යි.
සිකන්ඩා රාසා නොදැවී ලකුණු 13 (7) ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තියුණු ජයක් හිමි කර දුන්නා.
පන්දු යැවීමේ දී තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 49 ක් ලබා දෙමින්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය 36 ක්.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32 කට එක් කඩුල්ලක් බිද හෙලුවා. අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 9 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, තරගය අවසන් පන්දුව දක්වාම රැගෙන යාමට මතීෂ සමත් වුණා.
අවසන් පන්දුවට ලකුණු 3 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, සිකන්ඩා රාසා එම ලකුණු 3 රැස් කිරීමත් සමග මෙම තරගයෙන් තියුණු ජයක් පංජාබ් පිලට හිමි වුණා.