මතීෂගේ අවසන් පන්දුවට කෝටි 2.4 ක වාර්තාගත ඉල්ලුමක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 25 ක් මේ වන විට පවත්වා අවසන්. සියලු කණ්ඩායම් මේ වන විට තරග 5 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හිමි කර ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 8 ක් හිමි කර ගනිමින්.
ලක්නව් සුපර් ජයන්ට්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, පංජාබ් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා පිළිවෙලින් දෙවැනි, තෙවැනි, සිව්වැනි, පස්වැනි හා හයවැනි ස්ථානවල පසුවනවා.
මෙතෙක් පැවැති බොහෝ තරග ඉතා තියුණු අවසානයක් කරා ඇදී ගිය අතර, තරග රැසකම ජයග්‍රාහකයින් අවසන් පන්දුවාරයේ දී හා අවසන් පන්දුවේ දී යි තීරණය වුණේ.
එවැනි තියුණු තරගයක් පසුගිය 17 වැනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ද පැවැත්වුණා.
මෙම තරගයෙන් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණා.
තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට බැංගලෝර් කණ්ඩායමට ලකුණු 19 ක් අවශ්‍ය නමුත්, මතීෂ පතිරණ යොමු කළ එම පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ට ඔහු ලබා දුන්නේ ලකුණු 10 ක් පමණයි.
ඉන්දියාවේ ක්‍රිකට් දැවැන්තයින් දෙදෙනෙකු වන එම්.එස් දෝනි හා විරාට් කෝලි අතර සටනක් බවට පත් වූ මෙම තරගය වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බව නොරහසක්.
තරගය තියුණු අවසානයක් කරා ඇදී යාමත් සමග එම අවධානය තවදුරටත් ඉහළ ගියා. ඒ අනුව තියුණු අවසානයක් ගෙන ආ මෙම තරගයේ මතීෂ පතිරණ යොමු කළ අවසන් පන්දුවාරය Jio Cinema ඔස්සේ අන්තර්ජාලය හරහා ද වාර්තාගත පිරිසක් සජීවීව නැරඹීමට කටයුතු කර තිබුණා.
මතීෂ එම තරගයේ අවසන් පන්දුව යොමු කරන අවස්ථාව වන විට තරගය Jio Cinema හරහා සජීවීව නරඹමින් සිටි ප්‍රේක්ෂක පිරිස කෝටි 2.4 ක්.
එය මෙවර තරගාවලියේ දී මෙතෙක් Jio Cinema හරහා තරගයක මොහොතක් සජීවීව නැරඹූ වැඩිම ප්‍රේක්ෂක පිරිස ලෙසයි වාර්තා අතරට එක් වුණේ.
2023 අයි.පී.එල් තරගාවලියේ දී මෙතෙක් වැඩිම පිරිසක් Jio Cinema ඔස්සේ අන්තර්ජාලය හරහා නැරඹූ තරග –
- CSK vs RCB – 2.4 Cr
- CSK vs RR – 2.2 Cr
- RCB vs LSG – 1.8 Cr
- SRH vs KKR – 1.7 Cr
- MI vs DC – 1.7 Cr
- CSK vs LSG – 1.7 Cr
- CSK vs GT – 1.6 Cr