මතභේදාත්මක විනිසුරු තීන්දුව මැද ශ්‍රී ලංකාවට කඩුලු අටක පරාජයක්
Match Report

සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට නොහැකි වීම හමුවේ බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක පරාජයත් අත් විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(6) සිදු වුණා.
බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කළා.
දෙවැනි කඩුල්ල ලකුණු 83 දී දැවී ගිය පසුබිමක තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 87(57) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියේ නජ්මුල් හොසේන් ශන්තෝ හා තව්හිද් හ්රිදෝයි. ශන්තෝ නොදැවී ලකුණු 53(38) ක් හා හ්රිදෝයි නොදැවී ලකුණු 32(25) ක් ලබා ගත්තා.
ඉනිමේ පළමු කඩුල්ල සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් දවා ගැනීමට (ලකුණු 28 දී) ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වූ නමුත්, තෙවන විනිසුරු ලබා දුන් මතභේදාත්මක තීන්දුවක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වී ගියා.
සෞම්‍ය සාකාර් ලකුණු 14 ක් ලබා සිටියදී ඔහු කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පිටියේ විනිසුරු විසින් තීන්දු කළ නමුත්, සාකාර් විසින් එම තීන්දුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කළා.
පන්දුව පිත්ත පසු කරනවාත් සමගම ශබ්ද තරංගයක් පුනරූපනවලදී ද දැක ගත හැකි වූ නමුත්, තෙවන විනිසුුරු එය නොදැවී යාමක් ලෙසයි තීන්දු කළේ. එම විනිසුරු තීන්දුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි විරෝධයක් පළ කළ අතර, ඒ හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීම ද මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුණා.
සාකාර් මෙම තරගයේ දී ලකුණු 26 ක් රැස් කළ අතර, ලිටොන් දාස් ලකුණු 36 ක් ලබා ගත්තා. එම කඩුලු දෙකම දවා ගත්තේ මතීෂ පතිරණ විසින්. පතිරණ මෙම තරගයේ දී පන්දුවාර 3.4 ක් යොමු කිරීමෙන් පසුව පිටියෙන් ඉවත් වුණේ පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන්. ඒ, පළමු තරගයේ දී ද ඔහු පාදයක ආබාධයකට ලක් වූ පසුබිමකයි.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 165 ක් පමණක් රැස් කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
යළිත් අසාර්ථක වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියා. අනතුරුව කුසල් මෙන්ඩිස් සමග පිටියේ එක් වූ කමිදු මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 66 (42) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
කුසල් ලකුණු 36(22) කට දැවී ගිය අතර, කමිදු ලකුණු 37(27) කට දුවද්දී දැවී යාම තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණා. සධීර සමරවික්‍රම ලකුණු 7යි.
නායක චරිත් අසලංක පන්දු 14 කින් ලකුණු 28 ක් ලබා සිටියදී ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 112 ක් ලෙස සටහන්ව තිබියදීයි.
අනතුරුව 6 වැනි කඩුල්ල සදහා ඇන්ජෙලෝ මැතිව්ස් හා දසුන් ශානක නොබිදුණු ලකුණු 53* (37) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ නමුත්, ඉනිමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දීමට ඔවුන් දෙදෙනාටම හැකි වූයේ නැහැ.
මැතිව්ස් නොදැවී ලකුණු 32(21) ක් හා දසුන් නොදැවී ලකුණු 20(18) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, මහෙදි හසාන්, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා සෞම්‍ය සාර්කාර් කඩුල්ල බැගින් දවා ගත්තා.
මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අවසන් විස්සයි 20 තරගය එළඹෙන 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.