“මට පණිවිඩයක් එව්වේ දෝනි විතරයි” : කෝලිගෙන් සුවිශේෂී හෙළිදරව් කිරීම් දෙකක්
"මම අලුයම 5 වනතුරු සිවිලිම දිහා බලාගෙන හිටියා. මට නිදා ගන්න බැරිවුණා. මම හිතුවේ මගේ ක්‍රීඩා ජීවිතය ඉවරයි කියලා."

තමා ටෙස්ට් නායකත්වය අත්හැරීමෙන් පසුව තමාට කෙටි පණිවිඩයක් (message) යොමු කළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පමණක් බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි පවසනවා.
ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 5 කින් පරාජයට පත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
කෝලි පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයෙන් පසුව 20යි 20 නායකත්වයෙන් ඉවත් වූ අතර, අනතුරුව සීමිත පන්දුවාර තරග රටා ද්විත්වයේම නායකත්වය රෝහිට් ෂර්මාට හිමි වුණා.
පසුව විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ද සමු ගැනීමටයි තීරණය කළේ.
මෑත කාලයේ දී ඔහු ලකුණු අතර නොමැති වීම හේතුවෙන් බොහෝ විවේචනවලට ද ලක් වූ නමුත්, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී මේ වන විට ඉතා හොදින් යළිත් ලකුණු අතරට පිවිස සිටිනවා.
ඊයේ (4) පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ දී ද ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ කෝලි පන්දු 44 කින් ලකුණු 60 ක් වාර්තා කිරීමට සමත් වුණා.
“මම ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වුණාම මට පණිවිඩයක් (message) ලැබුණේ එක් අයෙකුගෙන් පමණයි. මම ඒ පුද්ගලයා සමඟ පසුගිය කාලයේ ක්‍රීඩා කර තිබෙනවා. ඔහු තමයි එම් එස් දෝනි.” යනුවෙන් කෝලි කියා සිටියා.
“ගොඩක් පුද්ගලයින් ළග මගේ දුරකතන අංකය තියෙනවා. ගොඩක් පුද්ගලයින් රූපවාහිනියේ යෝජනා සිදු කරනවා. ඒත් මගේ දුරකතන අංකය තියෙන අය අතරින් මට වෙන කාගෙන්වත් පණිවිඩයක් ආවේ නෑ.”
“මම අවුරුදු 14 ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒක අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ. මගේ කාර්යය වන්නේ මගේ ක්‍රීඩාව සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි, මම කණ්ඩායම වෙනුවෙන් සැමවිටම කිරීමට කැමති දෙයක් සහ මම දිගටම කරන දෙයක් ඒක.”
පාකිස්තානයට එරෙහි තරගයේ දී ඉන්දියාවේ පරාජයට දැඩිව බලපෑවේ පාකිස්තාන ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී අර්ෂ්දීප් සිං අතින් ගිලිහී ගිය උඩ පන්දුවයි.
මේ සම්බන්ධයෙන් ද මාධ්‍ය හමුවේ විරාට් කෝලි අදහස් පල කළා.
“ඕනෑම අයෙකු අතින් අත්වැරැද්දක් විය හැකියි. ඒ අවස්ථාව ගොඩක් බැරෑරුම් මොහොතක්. මේක ඉතා දැඩි පීඩනයක් සහිත තරගයක්. අත්වැරැදීම් වෙන්න පුලුවන්. මට තාමත් මතකයි මම මගේ පළමු ශූරයින්ගේ කුසලාන තරගාවලිය ක්‍රීඩා කරනකොට, පාකිස්තානයට එරෙහි තරගයේ දී මම ශහිඩ් අෆ්රිඩිගේ පන්දුවකට ගොඩක් නරක පහරක් ගැහුවා. මම අලුයම 5 වනතුරු සිවිලිම දිහා බලාගෙන හිටියා. මට නිදා ගන්න බැරිවුණා. මම හිතුවේ මගේ ක්‍රීඩා ජීවිතය ඉවරයි කියලා. ඒත් මේ දේවල් සාමාන්‍යයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඔබ වටා ඉන්නවා, හොඳ කණ්ඩායම් පරිසරයක් දැන් තියෙනවා, මම නායකයාට සහ පුහුණුකරුට ගෞරවය දෙනවා. ක්‍රීඩකයින් ඔවුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා.”