බිනුර ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් ; කුසල් ගැන සුබ ආරංචියක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා සිව්වැනි 20යි 20 තරග ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පසුගිය සෙනසුරාදා(12) සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගත් බැවින්.
අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ද ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(14) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
ඒ අනුව ඔහුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.
වෛරසය ආසාදනය වූ බැවින් ඔහුට ඊයේ(13) පැවැති දෙවැනි 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වූ අවස්ථාවකදී අදාළ ක්‍රීඩකයා දින 7ක කාලයක් හුදෙකලා කර තැබිය යුතුයි.
අනතුරුව PCR පරීක්ෂණ දෙකක් සිදු කෙරෙන අතර, ඉන් සමත් වුවහොත් පමණයි එම ක්‍රීඩකයාට සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග එක්විය හැකි වන්නේ.
ඒ අනුව බොහෝ විට බිනුර ප්‍රනාන්දුට එළඹෙන 20 වැනිදා පැවැත්වෙන පස්වැනි හා අවසන් 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.
මේ අතර, කොවිඩ් 19 ආසාදනය වී සිටි කුසල් මෙන්ඩිස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා.
ඒ අනුව ඔහුට හෙට(15) පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගය සදහා ක්‍රීඩා කිරීමට ද අවස්ථාව උදා වනු ඇති බවයි (කණ්ඩායම සදහා තෝරා ගතහොත්) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔහු අද දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සමග ද එක්ව තිබෙනවා.
තරග කාලසටහන –
1st T20I : Feb 11: Aus v SL, SCG
2nd T20I : Feb 13: Aus v SL, SCG
3rd T20I :F eb 15: Aus v SL, Manuka Oval
4th T20I : Feb 18: Aus v SL, MCG
5th T20I : Feb 20: Aus v SL, MCG