Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය 38/4 – ලකුණු 537 ක් පිටුපසින්

Day 2 Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(30) Chattogram හී දී නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38 ක්. ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ පසුබිමකයි.

බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ ශඩ්මන් ඉස්ලාම් ලකුණු නොලබාත්, මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 10කටත්, සාකීර් හසාන් ලකුණු දෙකකටත්, හසාන් මහ්මුද් ලකුණු 3 කටත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 6ක් හා නජ්මුල් හොසේන් ශන්තෝ නොදැවී ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා කඩුලු දෙකක් දවා ගත් අතර, ඩේන් පැටර්සන් හා කේෂාව් මහරාජ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 307 ක්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස David Bedingham ලකුණු 59 කට දැවී ගිය අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ටෝනි ද සෝර්සි ලකුණු 177 ක් ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් සෝර්සිගේ ඉනිම වර්ණවත් කළා.

ඊයේ දිනයේ දී ට්‍රිස්ටන් ස්ටබ්ස් ද ශතකයක් රැස් කරමින් ලකුණු 106 ක් රැස් කළා. අද දිනයේ දී දකුණු අප්‍රිකා ඉනිමේ වාර්තා වූ තෙවැනි ශතකය රැස් කිරීමට වියාන් මෝල්ඩර් සමත් වුණා.

ඔහු නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් සමගින්. සෙනුරන් මුතුසාමි නොදැවී ලකුණු 68 යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 198 කට කඩුලු පහක් දවා ගත්තා.

මේ වන විට බංග්ලාදේශය පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 537 ක්.